ව්‍යාපාරිකයාගේ පුත්‍රයා විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව සහ අදාළ ලියකියවිලි ලබා දීම සඳහා අල්ලස් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් එම ක්වාසි විනිසුරුවරයාට චෝදනා එල්ල වී තිබේ.මෙම මෑතකාලීන සිදුවීම් අප රටේ ක්වාසි අධිකරණ පද්ධතිය තුළ සිදුවන බව කියන දූෂණ චෝදනා පිළිබඳ නිශ්චිත නිදසුන් සපයයි.
ක්වාසි යන්නෙන් අදහස් කරන්නේ ඉස්ලාමීය නීතිය (ෂරියා) අර්ථකථනය කර ක්‍රියාත්මක කරන ඉස්ලාමීය විනිසුරුවරයෙකු හෝ මහේස්ත්‍රාත්වරයෙකි. ශ්‍රී ලංකාවේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ, විවාහය, දික්කසාදය සහ උරුමය වැනි මුස්ලිම් සිවිල් නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් මූලිකත්වය ගැනීම සඳහා ක්වාසි වරුන් අධිකරණ සේවා කොමිසම මඟින් පත් කරනු ලැබේ.
ක්වාසි අධිකරණ පද්ධතිය මඟින් ක්වාසි විනිසුරුවරුන් වෙත වගකීම් බොහොමයක් පැවරී ඇති අතර ඒවා අතර විවාහය සහ දික්කසාදය: දික්කසාදය, නඩත්තුව (භාර්යාවන් සහ දරුවන් ඇතුළුව) සහ අදාළ ගැටළු සඳහා අයදුම්පත් හැසිරවීම ඉස්ලාමීය නීතියට අනුව මරණයෙන් පසු දේපළ බෙදා හැරීම තීරණය කිරීම ආදිය වේ.අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ක්වාසි වරුන් පත් කරනු ලැබීම නිසා මෙය අප රටේ අධිකරණ පද්ධතිය තුළට සෘජුවම අන්තර්ග්‍රහණය වී තිබේ.මුස්ලිම් ප්‍රජාවට අදාළ නීති පසිඳලීමට ක්වාසි අධිකරණ දිස්ත්‍රික්ක දොළහක අධිකරණ ආයතන විසිපහක් පවතී.මුස්ලිම් නීතියේ මූලධර්ම ක්‍රියාත්මක කරමින්, ක්වාසිවරුන් මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධ නඩු මෙහෙයවීම සඳහා සෑම ක්වාසිවරයෙකුම නිශ්චිත ප්‍රදේශයකට පත් කොට ඇති අතර, ඔවුන්ගේ පත්වීම ඔවුන් වගකිව යුතු ප්‍රදේශය සමඟ ගැසට් පත්‍රයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.නමුත් ඉහත සඳහන් නිදසුන් සේම ඔවුන්ගේ රාජකාරිවලට අදාළ අල්ලස් චෝදනා මත ක්වාසි විනිසුරුවරුන් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථා තිබේ.අත් අඩංගුවට පත් නොවූ සිදුවීම් විශාල ප්‍රමාණයක් ඇති බව නොරහසකි. ඉන් අපට හැඟී යනුයේ ශ්‍රී ලංකාවේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ක්වාසි වරුන් විසින් බරපතල ලෙස අවභාවිතාවට ලක් කරන බවකි.
ඒ අතරේ ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ජනවාර්ගික කණ්ඩායම් අතරින් මුස්ලිම් ප්‍රජාව සතු විශේෂ වරප්‍රසාදයක් ලෙස ලෙස ඇතැමෙක් ක්වාසි අධිකරණ හඳුන්වා දෙති. කාලාන්තරයක් සාකච්ඡාවට ගනු ලබමින් සහ යටපත්වෙමින් පවතින එම මාතෘකාව යළිත් මතුපිටට පැමිණ තිබීම මත ඒ සම්බන්ධ නිසි විමසුමක් කළ යුතු ය.
ශ්‍රී ලංකාවේ ක්වාසි අධිකරණ ආයතනවලට වසර හැත්තෑවකට අධික දීර්ඝ ඉතිහාසයක් තිබේ.අප රටට නිදහස ලැබීමෙන් පසු 1951 දී නීතිගත කරන ලද මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සමඟ මේ දක්වාම එය ප්‍රධාන අධිකරණමය ක්‍රියාමාර්ග වලට සමාන්තර මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අතර ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය කෙරෙහි ද එම විවේචනයම එල්ල වෙමින් තිබේ.එය කිසිවකු වෙතින් සැඟවිය යුත්තක් හෝ සැඟවිය හැක්කක් නොවේ.මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පසිඳලන අධිකරණ ආයතනයක් වන ක්වාසි උසාවි සම්බන්ධයෙන් වඩාත් සාධාරණ වූ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් වනුයේ ඉන් අගතියට පත් වන මුස්ලිම් කාන්තාවන් අතරිනි. එය පුරුෂාධිපත්‍යය මුල්කරගත් ආයතනයක් වන අතරම කාන්තාවන්ට කිසිදු යුක්තියක් ඉටුනොකරන ආයතනයක් වන බවට පසුගිය සමයෙහි බොහෝ විවේචන එල්ලවෙමින් තිබුණි.එමෙන්ම මුස්ලිම් වනිතාවන් ගේ විරෝධතා ද එල්ල වී තිබිණ.
“සිංහල සමාජයෙන් නැගෙන “එක රටක්- එක නීතියක් ” යන ඊනියා සටන් පාඨය දෙස බැලිමේදී පෙනී යන්නේ “සිංහලයන්ට නැති වරප්‍රසාදයක් මුස්ලිම් තැනැත්තන්ට ඇති” බවට සිංහලයන් විශ්වාස කරන බව ය. ඇත්ත වශයෙන්ම විමර්ශනාත්මකව බැලීමේදී පෙනී යන්නේ මුස්ලිම් සමාජය මත පැටවී ඇති නීතින් ඔවුන්ට වරප්රසාදයන් නොව ඔවුන්ව පීඩාවට පත් කරන දේවල් බවය”. එම මතවාදය සම්බන්ධයෙන් අදහස් දක්වන මාවන හිමිකම් ක්‍රියාධරයකු වන නීතිඥ ප්‍රසන්න පතිරාජ ගේ එම ප්‍රකාශය පූර්ණ සත්‍යයකි.එම සත්‍ය අනාවරණය සම්බන්ධයෙන් ඔහුට අප ගේ කෘතඥතාව හිමි වේ.
කාති උසාවි ක්‍රියාත්මක වන ආකාරය නූතන අධිකරණ ක්‍රියාවලියට ගැළපෙන එකක් නොවන බව ඒ සම්බන්ධ විද්වත් මතයයි. අධිකරණ ආයතන ක්‍රියාත්මක වියයුත්තේ මහජන අභිමානයට හානියක් සිදු නොවෙන ආකාරයට ය. කාන්තාවන් පිරිමින්ට වඩා පහත් හා දෙවන මට්ටමක කොටසක් ලෙස සලකන සාම්ප්‍රදායික ආකල්ප සහිත පුරුෂයන් පමණක් විනිශ්චය කාර්යය ඉටුකරන අධිකරණ ක්‍රමයක් අදට අදට කෙසේ වත් උචිත නොවේ. නමුත් කාති උසාවිවලට විනිසුරුවරුන් පත්කිරීම සඳහා තවමත් අයදුම්පත් කැඳවීම මුල්කර ගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාව නීතිය සැමට සාධාරණය යන ප්‍රධාන මූල ධර්මයේ ද ගෙල සිඳ ඇති බව අප ගේ වැටහීම ය.ඒ අනුව මෙම ක්වාසි අධිකරණ ක්‍රමය අහෝසි කිරීමට වත්මන් දේශපාලන අධිකාරිය මඳකුදු පසුබට විය යුතු නැත.


