Friday, September 20, 2024

ඉන්දියා තහනම නිසා යතුරුපැදි ආනයනකරුවන් දැඩි අපහසුතාවයකට – යතුරු පැදි අලෙවිකරුවන්ගේ සංගමයෙන් රජයට රතු එළියක්

Must read

රජය විසින් ලංකාවේ මුදල් පිටරටට ගලායාම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවෙන් යතුරුපැදි හා අමතර කොටස් ආනයනය තාවකාලික නවතා දැමීම නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් යතුරු පැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි. මෙම තහනම ඉවත් නොකරන්නේ නම් ඉදිරියේදී යතුරු පැදි ක්‍ෂේත්‍රයේ නියැළෙන ජනතාව ලක්‍ෂ ගණනක් මහ පාරට බැසීමට නියමිත බව ද ඔවුහු කීහ. කුරුණෑගල දිස්ත්‍රික් යතුරු පැදි අලෙවිකරුවන්ගේ සංගමය විසින් මෙම අදහස් පළ කළේ පසුගිය 25 දා කුරුණෑගල බ්‍රාවෝ හෝටලයේ පැවති මාධ්‍ය හමුවක දීය. මෙම මාධ්‍ය හමුවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ යතුරු පැදි අලෙවිකරණයේ යෙදෙන සියලු ව්‍යාපාරිකයන් එක්ව සිටියහ. එහිදී ඔවුන් සඳහන් කළේ රජය විසින් අපේ මුදල් රට තුළ ඉතිරි කර ගැනීමේ අරමුණින් ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ජනතාව ලක්‍ෂ ගණනක් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවය. මෙම මාධ්‍ය හමුවේ දී කුරුණෑගල දිස්ත්‍රික් යතුරු පැදි අලෙවිකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු පුෂ්පකුමාර දිසානායක මෙසේ පැවසීය: ‘‘රජය විසින් මෙම වාරණය ක්‍රියාත්මක කොට තිබෙන්නේ අපේ රටේ මුදල් පිටරටට යාම වැළැක්වීම සඳහා. නමුත් මේ නිසා යතුරු පැදි අලෙවිකරුවන් දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. දැන් අපේ අංගණවල විකුණන්න යතුරු පැදි නැහැ. අපේ යතුරු පැදි අංගණ සියල්ල හිස් වෙලා. යතුරු පැදි විකුණන්නේ නැතිව අපි ජීවත් වෙන්නේ කොහොමද. බිස්නස් බිංදුවටම බැහැලා. නමුත් සේවක වැටුප්,බැංකු ණය,බිල්ඩිං කුලී ඇතුළු දහසක් දේ ඉතිරි වෙලා. දැන් අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. යතුරු පැදි අලෙවිකරුවන් විතරක් නෙවෙයි මේ ක්‍ෂේත්‍රයෙන් මුදල් හම්බ කරගෙන ජීවත් වෙන ගොඩක් දෙනෙක් ඉන්නවා. යතුරු පැදි හා අමතර කොටස් ගෙන්වීම නවත්තපු හින්දා ඒ සියලුම දෙනා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් දස දහසකට වඩා වැඩි පිරිසක් මේ හින්දා එදා වේල නැතිව ඉන්නවා. ලංකාවේම බැලුවොත් ලක්‍ෂ ගාණක් ඉන්නවා. රජය මේ වාරණය අඛණ්ඩව පැවැත්වුවොත් අපි සියලු දෙනාට සිද්ධ වෙන්නේ වහ කන්න තමයි. කොවිඩ් වසංගතයත් එක්ක මේ වෙලාවේ රටේ අර්බුදයක් තියෙනවා තමයි. අපි නැහැ කියන්නේ නෑ. නමුත් අපි දැන් මාස ගාණක් ඉවසගෙන හිටියා. තවත් ඉවසන්න බැරිම තැනයි මේ එළියට ඇවිල්ලා කතා කරන්නේ. අපි කියන්නේ ඕනෑම කොන්දේසියක් යටතේ අපිට යතුරු පැදි හා අමතර කොටස් නැවත ආනයනය කරන්න ඉඩ දෙන්න කියලයි. එහෙම නැති උනොත් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. යතුරු පැදි අලෙවිකරුවාගේ සිට ඒවා අලුත්වැඩියා කරන මැකෑනික් බාස් දක්වා අද කරකියාගන්න දෙයක් නැතිව ඉන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ මේ ගැන හොයා බලන්න කියලා. එහෙම නැති උනොත් ඉදිරියේ දී යතුරු පැදි ක්‍ෂේත්‍රයේ නියැළෙන ලක්‍ෂ ගණනක් මහ පාරට බහින එක වළක්වන්න බැරි වේවි.’’ සම්පත් සෙනෙවිරත්න – කුරුණෑගල (aruna.lk)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article