Sunday, June 23, 2024

අද (15) පටන් ඉන්දීය ට්‍රෝලර් උතුරු මුහුදට කඩා වදින බවට අනතුරු ඇඟවීමක්

Must read

දෙමාසයක මාළු බෑමේ තහනමක් අවසන් වී මේ සෙනසුරාදා (15) දියඹට වදින ඉන්දීය යාත්‍රා ශ්‍රී ලංකාවේ සාගර කලාපයට ඇතුල් වීම වැලැක්වියනොහැකි බවට තමිල් නාඩුවේ ධීවර නායකයෙක් අනතුරු අඟවා තිබේ.

රාමේස්වරමේ සමස්ත යාන්ත්‍රික බෝට්ටු හිමියන්ගේ සංගමයේ (AMBOA) සභාපති බී ජේසුරාසා එම ප්‍රකාශය කළේ මේ සති අන්තයේ සිට සුමානයකට තුන් දිනක් උතුරු මුහුදට කඩා වැදීමට නියමිත ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දහස් ගණනක් නවතා ලීමට පියවර ගන්නා ලෙස උතුරේ ධීවර සංගම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.

 “තමිල්නාඩුවේ බෝට්ටු හිමියන් නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු සඳහා ට්‍රෝලින් දැල් යොදාගන්නා ට්‍රෝලර් යාත්‍රා 2024.06.15 වැනිදා නැවත වතාවක් අපේ සාගර කලාපයට එවනු ඇතැ,” යි උතුරු පළාතේ මුහුදුබඩ දිස්ත්‍රික්ක හතරේ ධීවර නායකයන් ඉකුත් සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක දැක්වේ.

“මේ බරපතල ප්‍රශ්නය සලකා බලා සෑම සඳුදා, බදාදා සහ සෙනසුරාදා හවස් යාමයේ දහස් ගණන් තමිල්නාඩු ට්‍රෝලර් ඇතුල්වීම නිරීක්ෂණය කර වලක්වා ලන්නට උපරිම වීරිය දරන මෙන් අපි ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය, හා ඊට අනුබද්ධ ආයතන වලිනුත්, ශ්‍රී ලංකා නාවික හමුදාවෙනුත් උදක්ම ඉල්ලා සිටිමු.”

තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ මාළු නීති විරෝධී ලෙස කොල්ලකෑම සදහටම නවතාලන්නට පියවර ගැනීම සඳහා එක්වන ලෙස එම ලිපිය මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ යාපනය සමුපකාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති ඇතුළු බහුජන සංවිධාන සහ ධීවර සංගම් වලින් ඉල්ලා සිටී.

මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකන තමිල්නාඩු ධීවරයන් තමන්ගේ ජීවිකාව මහත්සේ අනතුරේ හෙලා ඇති බව යුද්ධයෙන් බැටකා, ඉන් ගොඩ එන්නට වීරියකරන උතුරේ ධීවර ප්‍රජාව දිගින් දිගටම නගන චෝදනාවකි.

කෙසේවෙතත්, රාමේස්වරමේ ධීවර නායකයා පවසන්නේ තමන් හිතාමතා ලංකාවේ මුහුදු තීරයට ඇතුල් වන්නේ නැති බවයි.

“රටවල් දෙක අතර මුහුදු මායිම බොහොම ලඟින් පිහිටලා තියෙන හින්දා මූදු හුළඟට බෝට්ටු ගහගෙන යන එක හැම වෙලේම සිද්ධවෙන දෙයක්. සමහරවෙලාවට GPS තාක්ෂණයත් වරදිනවා. ඒ වගේම රෑට මූදු යනකොට නොදැනුවත්වම ඒගොල්ලන්ගේ මූදට පාවෙලා යනවා. උතුරේ අපේ සහෝදර ධීවරයන්ට අපේ උදව්ව සහ සහයෝගිතාව හැම වෙලේම තියෙනවා. ඒගොල්ලන්ගේ රස්සාවට පහර වදින එකට අපිව හේතුවක් කරගන්න හොඳ නැහැ. අපිට එහෙම අරමුණක් නැහැ”

ලංකාවේ උතුරේ ධීවර ප්‍රජාව ඒ කතාව පිළිගන්නට සුදානම් නැත.

“ඒ ගොල්ලන්ගේ අරමුණ ඉතා පැහැදිලියි. අපේ මූදට නීති විරෝධී විදියට කඩා වදිනවා, අපේ ධීවර සම්පත් මහා පරිමාණයෙන් කොල්ල කාලා සල්ලි කරගෙන අපේ බඩගෝස්තරේට විදලා දුකට ඇදලා දානවා,” යි මන්නාරමේ ධීවර නායකයකු වන එන් මොහමඩ් අලාම් ප්‍රකාශ කරයි.

“මේක ජීවිතයත්, මරණයත් අතර ප්‍රශ්නයක්. තමිල් නාඩු ධීවරයන්ගේ මාළු කොල්ලයට සදහටම නැවැත්තුවේ නැතිනම්, අපිට අනාගතයක් නෑ. අපේ දරු මල්ලන්ට කන්න දෙන්න වෙන්නේ නෑ,” යි උතුරු පළාත් ධීවර එකතුවේ සභාපති එන් වී සුබ්‍රමානියම් පවසයි.

 රාමේස්වරම් ධීවර නායකයා යෝජනා කරන්නේ දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව දෙපාර්ශවය අතර සාකච්ඡාවකින් අර්බුදය විසඳා ගැනීමටයි. නොදැනුවත්ව ලංකා මුහුදු තීරයට ඇතුල්වීමෙන් වැඩියෙන් පාඩු විඳින්නේ තමිල්නාඩු ධීවරයන් බව ඔහුගේ අදහසයි.

“අපේ බෝට්ටුයි, මාලුයි ඔක්කොම අල්ලගන්නවා. මේ බෝට්ටු හරි මිලයි. ඒවා ණයට ගත්තු බෝට්ටු. බෝට්ටුවයි, බිස්නස් එකයි නැතිව ණය ගෙවන ගමන් දරු පවුල් රකින්නත් වද වෙන්න ඕනේ.  අත් අඩංගුවට ගත්තු බෝට්ටුයි, ධීවරයොයි බේරගන්න නඩු කියන්න වියදම් කරගෙන එහෙ උසාවි වලට යන්නත් වෙනවා,” යි යේසුරාසා කියා සිටී.

ලංකා මුහුදු තීරයට ඇතුල් නොවී සිටියොත් අත් අඩංගුවට පත්වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මොහමඩ් අලාම් පවසයි.

දෙරට අතර මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරවලට ගොදුරු වූ බව තමිල්නාඩු ධීවරයන් චෝදනා කරන අතර ලංකාවේ උතුරේ ධීවරයන් පවසන්නේ ඉන්දීය බෝට්ටුවලට එරෙහිව නාවික හමුදාව ප්‍රමාණවත් ලෙස බලය යොදන්නේ නැති බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය යාත්‍රා නවතාලීම සඳහා ‘ප්‍රමාණය ඉක්මවා බලය පාවිච්චි කිරීමේ’ හැකියාවක් නොමැති බව පවසන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය ගණනින් අත් අඩංගුවට ගැනීම දේශපාලන බලපෑම් වලට හේතු වන බවට බිය පළකර තිබිණි.

වාර්ෂික ධීවර තහනම හමාරයේ මේ සෙනසුරාදා පටන් තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදට කඩාවදින බවට කල්තියාම ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනත්, සිකුරාදා වනතුරුත් කිසිදු පිළිතුරක් නොලද බව උතුරේ ධීවරයෝ පවසති.

 තමිල්නාඩු බලධාරීන් දෙමාසයක ධීවර තහනමක් පනවන්නේ මසුන් බෝවන සමයේ සාගර ජීවීන්ට හානි පැමිණීම වැළක්වීමේ අරමුණිනි.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article