සාචි ඉදාන් ගාසා වෙත පළවා හරින ලද මොහොතේ දී ත් ඔහුගේ දෑත් ඔහුගේ දියණියගේ රුධිරයෙන් වැසීගොස් තිබිණි.
හමාස් තුවක්කුකරුවෙකු අතින් ඇගේ පවුල ඉදිරියේ දීම ඝාතනයට ලක්වූ 18 හැවිරිදි මායන් තුරුලේ හොවාගෙන සිටි ඔහුට දෑත සෝදාගැනීමටවත් ඉඩක් නොලැබිණි.
ඔවුන් වාසය කළ නිවසට පිටතින් නැගුණු පිපිරුම් හඬ හමුවේ, ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා ඔහුගේ ශරීරයෙන් ආවරණයකර ගැනීමට පෙරාතුව හෝ ඔහුට ඔහුගේ දෑත පිසදා ගැනීමට නොහැකි විය.
එම වේදනාකාරී සිදුවීම අතරතුර, එම පවුලේ වේදනාව සහ භීතිය ෆේස්බුක් ඔස්සේ සජීවීව ලොව පුරා විකාශය කිරීමට හමාස් සාමාජිකයින් දුරකථනයක් සූදානම් කළේ ය.
සාචිගේ බිරිඳ වන ගාලි ඉදාන් දැන්, ඔක්තෝබර් හත්වන දින හමාස් සංවිධානයේ ප්‍රහාරයට ලක්වූ දකුණු ඊශ්‍රායල ගම්මාන රැසක් අතරින් ඔවුන්ගේ ගම වන නහාල් ඕස් සිට බොහෝ දුර ඈත සිටියි.
ඇය සහ ඇගේ දිවි ගලවාගත් දරුවෝ රැකවරණය සහ පහසුකම් ලබමින් වෙනත් කිබුට්ස් ජනාවාසයක වෙසෙති. නමුත් එය ඔවුන්ගේ නිවහන නොවේ.
ඔවුන්ගේ නිවහන යනු මායන්ට වයස අවුරුදු හතරේ සිට එම පවුල දිවි ගෙවූ ස්ථානය යි. එය ඔවුන් හැදී වැඩුණු, එක්ව මතකයන් ගොඩනගාගත් සහ ඇගේ බාල සහෝදර සහෝදරියන් ඉපදුණු නිවස යි.
පවුලේ වැඩිමහල් දරුවා වූ මායන්, පරිණත සහ ලැජ්ජාශීලී අයෙකු වූවා ය. “එයා හැම අතින්ම පරිපූර්ණයි,” ඔවුන්ගේ අසල්වැසියා මා හා පැවසීය. ඒ වන විටත් ඇය ඇගේ රියැදුරු පරීක්ෂණය සමත්ව සිටි අතර ඇගේ පළමු ප්‍රේම සම්බන්ධය ආරම්භ කර තිබුණා ය. කියවීමට ප්‍රිය කළ ඇය ඝාතනයට ලක්වීමට දින හතරකට පෙර ඇගේ උපන්දිනය වෙනුවෙන් පොත් ඉල්ලා සිටියා ය. ගාලි පවසන පරිදි ඇය සදහට ම 18 වන වියේ පසුවනු ඇත.
දොඩම් වර්ගයේ ගස්වලින් සෙවන ලද ස්ථානයක අසුන් ගෙන සිටින ගාලි පවසන්නේ, ඇය එදා විඳි වේදනාව නැවත විස්තර කිරීමට අවශ්‍ය නැති බව ය. ඒ, එය එතරම් කටුක බැවිණි. නමුත් ඇය සාචි වෙනුවෙන් එය සිදු කරයි.
“මට එයාව ආපහු ඕනේ. හිටපු විදිහට ම, පණ ඇතුව. මට දැන්ම එයාව ආපහු ඕන.”
ඔක්තෝබර් හත්වන දින ඔවුන් අවදි වී තිබුණේ, ගාසා තීරයෙන් රොකට් ප්‍රහාරයක් එල්ලවන බවට නිකුත් වුණු රතු අනතුරු ඇඟවීමේ එලාම් හඬට ය. කළ යුත්තේ කුමක් ද යන්න ඔවුහු දැන සිටියහ. නමුත් එදින උදෑසන යම් වෙනසක් තිබුණි.
“ඒක වෙනස් වගේ ම හරි ම තීව්‍ර යි,” ගාලි මා හා පවසයි. “එකක් ඉවර වෙන්න එකක් ප්‍රහාර ආවා. හුස්ම ටිකක් ගන්න අපිට එළියටවත් යන්න බැරි වුණා. අපේ ගෙදර ඇතුළේ තිබුණු ආරක්‍ෂිත කුටියට (mamad) ගිහින් අපි දොරවල් වහගත්තා.”
“සාචියි මමයි මූණට මූණ බලලා, මෙතන වෙන දේ එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා කිව්වා. මොනවා හරි භයානක දෙයක් වෙන්නේ.
“අපිට ප්‍රහාරයක් එල්ල වෙලා කියලත්, අපි ආරක්‍ෂිත කුටි [mamad] තුළට වෙලා ඉන්න ඕනේ කියලත් කිබුට්ස් අභ්‍යන්තර [සන්නිවේදන] පද්ධතියෙන් අපිට මැසේජස් ලැබුණා. එක තැනක දී එයාල අපිට කිව්වා අපි සද්ද නැතුව ඉන්න ඕන, මොකද අපේ කිබුට්ස් එකට ත්‍රස්තවාදියො ඇතුළුවෙලා තියෙන්න පුළුවන් කියලා,” ඇය තවදුරටත් පැවසුවා ය.
“මේක කිසි ම වෙලාවක විකල්පයක් වුණු දෙයක් නෙවෙයි කියලා ඔයා තේරුම්ගන්න ඕනේ. ඒක නරකම දෙවල්වලත් නරකම දෙයක්. ඒත් වගේ තත්ත්වෙක දී කරන්න ඕනේ මොකක් ද කියලා රජයට වගේ ම ආරක්ෂක අංශවලටත් විසඳුමක් තිබුණා. නමුත් එක පාරටම ඒක ඇත්තට ම සිද්ධවුණා. නරක හීනෙ ඇත්තක් වුණා.”
ඒ මොහොතේ නිවසින් පිටත යමක් පුපුරාගොස් වීදුරු ජනේල කැඩී බිඳී ගිය අයුරු ගාලි විස්තර කරයි. ඉන් පසුව ඔවුන්ගේ නිවස ඇතුළතින් අඩි ශබ්ද සහ කටහඬවල් ඇසෙන්නට පටන් ගත්තේ ය. ඌරුවක් සහිත ඉංග්‍රීසි බසින් කතා කළ එක් පුද්ගලයෙකු “අපි වෙඩි තියන්නේ නැහැ,”යි පැවසීය.
නමුත් ඔවුහු වෙඩි තැබූහ.
“උන්ට අරින්න බැරිවෙන්න සාචි දොර අල්ලගෙන හිටියේ,” ගාලි තවදුරටත් පැවසුවා ය. “දොරේ අගුලක් තිබුණේ නැහැ. ළමයි කෑගහනවා, කාමරේ ඇතුළේ කාලගෝට්ටියක් වගේ. ඇතුළ කළුවරයි. පස්සේ මායන්ට තේරුම් ගියා.”
“උන්ට දොර ටිකක් ඇරගන්න පුළුවන් වුණා කියලා එයා දැක්කා. එයා එක පාරටම ගිහින් සාචිට දොර අල්ලගන්න උදව් කළා.”
ගාලිගේ දෑසින් කඳුළු වැගිරීමට පටන් ගත්ත ද ඇය නොනවත්වා එම මොහොත විස්තර කර ගෙන ගියා ය.
“එයාලා කෑගහලා කිව්වා ‘අපි වෙඩි තියන්නේ නැහැ,’ කියලා.
ඊළඟට එයාල වෙඩි තිබ්බා. සාචි ඒ වෙලාවේ බෙරිහන් දීලා ඇහුවා ‘කාට ද වැදුණේ, කාට ද වැදුණේ?’ කියලා. මායන්ට තමයි වෙඩි වැදිලා තිබුණේ. එයා සාචි ළඟ ඇදගෙන වැටුණා. ඊට පස්සේ හමාස්ලට දොර ඇර ගන්න පුළුවන් වුණා. කෑගැහිලි මැද උන් ලයිට් එක දැම්මා.”
“මායන් හිටියේ මහ ලේ විලක් මැද. මම එයාව චෙක් කරලා බලද්දී මට තේරුම් ගියා එයාගේ ඔළුවට වෙඩි වැදිලා, එයාට බරපතළ විදිහට තුවාල යි කියලා. කාමරෙන් එළියට එන්න කියලා උන් අපිට කෑගහලා කිව්වා. අපි දරුවන්ට කිව්වා [මායන් දිහා] ‘බලන්න එපා’ කියලා, ඒ ගමන් එයාලා එක්ක එළියට ආවා.”
“මගේ ගේ වටේ ම යුද්ධයක්, ඒ වගේම උන් ඇතුළටත් ඇවිල්ලා තිබුණා.”
ඔවුන් වටා දෝංකාර දෙමින් නැගුණු වෙඩි හඬ මධ්‍යයේ, රාත්‍රී ඇඳුමින් සැරසී සිටි සාචි, ගාලි සහ ඔවුන්ගේ බාල දරුවන් දෙදෙනා වන 11 හැවිරිදි යයෙල් සහ නව හැවිරිදි ෂඛාර් බිම හිඳගත්හ. ඔවුන් ග්‍රහණයට ගත්තවුන්ගෙන් අයෙකු ගාලිගේ දුරකතනය ගෙන ඇගේ මුරපදය ඉල්ලා, මෙම පවුලට අත්වුණු ඉරණම ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කිරීමට පටන් ගත්තේ ය.
එම වීඩියෝව නැරඹිය නොහැකි තරම් වේදනාකාරී ය. මිනිත්තු 26කට අධික කාලයක් පුරාවට, තීව්‍ර වෙමින් පැවති රොකට් සයිරන් නාද සහ නොනවත්වා එල්ල වන හමාස් ප්‍රහාර මධ්‍යයේ ඔවුන් වකුටුවී සිටින අයුරු දිස්විය. ගිනි වරුසාවන්ට බියෙන් ගැස්සුණු දරුවෝ දෙමව්පියන්ට තුරුළුවී ඉකි බින්දහ. ඒ සියල්ල අතර, මායන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඊට මීටර් කිහිපයක් දුරින් වැටී තිබිණි.
“මගේ වාසනාවට, මගේ දරුවෝ කියන්න බැරි තරම් නිර්භීතයි,” ගාලි පවසයි. “එයාලා ත්‍රස්තවාදීන්ට කතා කළා, මම දන්නේ නැහැ එයාලා ඒක කොහොම කළා ද කියලා. එයාලා ඇහුවා, ඇයි උන් මෙහෙට ඇවිල්ලා ඉන්නේ, ඇයි වෙඩි තියෙන්නේ, ඇයි මරන්නේ කියලා. සමහර විට ඒක වෙන්න ඇති අපි බේරුණේ?
“සාචි හොඳට ම වැටිලා ඉන්නේ. එයා එයාගෙ දුව මැරෙනවා දැක්කා. එයා දැක්කා දුවගේ ඔළුවට වෙඩි වැදිලා එයා ළඟම මැරිලා වැටෙන හැටි. ඊයෙ පෙරේදා18 වන උපන්දිනේ සමරපු එයාගෙ දුව. ගෙදර බැලුන්වලින්, සුබ පැතුම්වලින් වගේ ම… ලේවලිනුත් පිරිලා.”
අවසානයේ, සාචිට නැගිටින ලෙසට නියෝග කෙරිණි. ඔහුගේ දෑත් පසුපසට කර සිප් ටයි පටියකින් බැඳ දමනු ලැබුණි. දරුවෝ පියා රැගෙන නොයන ලෙසත් මරා නොදමන ලෙසත් යදිමින් හමාස් සාමාජිකයින් වෙත මහ හඬින් කෑගැසූහ. එනමුත් අනතුරුව ඔහු ඉවතට ගෙනයනු ලැබුණි.
ප්‍රහාරය සිදුවන විට ටෙල් අවිව්හි සිටි ගාලිගේ දෙවන වැඩිමල් දියණිය වන ෂැරොන්, ඇගේ මව මෙම වේදනාකාරී අත්දැකීම සිහිපත් කරන හැම මොහොතක ම ඇය සනසයි.
පහළොස් හැවිරිදි ඇයට ප්‍රහාරය අතරතුර ඇගේ පියාට දුරකතනයෙන් කතා කිරීමට හැකිවිය. “ෂැරොන්, අපි අවුලක ඉන්නේ. මම පස්සේ කතා කරන්නම්. මං ආදරෙයි ඔයාට,”යි පැවසූ සාචි ඇමතුම විසන්ධි කළේ ය. ඔවුන් කතාබහ කළ අවසාන අවස්ථාව එය විය. ගාලි අවසන් වරට සැමියාට පැවසූ වදන් ඇයගේ මනසට ද කා වැදී ඇත.
“එයා ගෙදරින් පිටවෙද්දී මම එයාට කිව්වා, “මම ඔයාට ආදරෙයි, වීරයෙක් වෙන්න හදන්න එපා, මොළේ කල්පනා කරලා වැඩ කරන්න. පරිස්සමින්, ඔය විදිහට ම ආපහු මං ගාවට එන්න. එච්චරයි. දැන් මට එයා ආපහු මං ගාවට ගෙන්න ගන්න ඕන. හිටපු විදිහට ම, හොඳින්,” ගාලි පවසයි.
“සාචි මෙතන ඉන්න ඕනේ, එයාගේ දුව වෙනුවෙන් වැළපෙන්න ඕන. මට එයාව හග් කරන්න ඕනේ.”
හමාස් සංවිධානය ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින පුද්ගලයින්ගෙන් 200කට අධික පිරිසක් ඊශ්‍රායලය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඊශ්‍රායලය පුරාත්, ලොව වටාත් පවුල් මහත් දුකට පත්ව සිටිති.
“මට තේරෙන්නේ නැහැ එයාලගේ අරමුණ මොකක් ද කියලා,” ගාලි පවසයි.
“එයාලට එයාලව මෘගයෝ කියල ද පෙන්නන්න ඕනේ? ඔන්න එහෙනම්, උඹලා මෘගයෝ. අපේ දරුවන් දකින්න පුළුවන් නරක ම හීනෙ තමයි උඹලා. උඹලා භීතිය වපුරුවන කොටසක්. වෙන විධියක් නැහැ ඒක කියන්න. හරිම අප්‍රසන්නයි. මම දන්නේ නැහැ තවත් කොච්චර කාලයක් මේ කැළල තියේවි ද කියලා. ඒත් මේ සාමාන්‍ය මිනිස්සු ආපහු අරන් එන්න ඕනේ. ඒ හැම කෙනෙක් ම ආපහු අරන් එන්න ඕනේ.”
නිවසින් බොහෝ දුරින් පිහිටි තවත් කිබුට්ස් ජනාවාසයක, පුටු පේළියක් ඉදිරිපිට සාමකාමී ස්ථානයක මායන්ගේ දේහය තැන්පත් කර ඇති මිනී පෙට්ටිය තබා ඇත.
මල් වඩම් සහ විවිධ වර්ණයන්ගෙන් යුත් මල් පොකුරු අතැතිව ඇයට ගෞරව දැක්වීමට පැමිණෙන සිය ගණනක් ශෝකවන්නන්ට ප්‍රමාණවත් තරම් ආසන ගණනක් එහි නොමැත.
මිතුරන් සහ පවුලේ සාමාජිකයෝ වොලිබෝල් ක්‍රීඩාවට ප්‍රිය කළ, ජීවිතයට ප්‍රිය කළ තරුණියකගේ මතකයන් බෙදා ගනිමින් කතා පවත්වති.
ගාලි ඇගේ දියණිය සිහිපත් කරමින්, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරයි. මයික්‍රෆෝනයෙන් කතා නොකරන අවස්ථාවල දී, ඇය ඇගේ ජීවත්ව සිටින දරුවන් තදින් අල්ලාගෙන සිටින්නී ය.
යාන්තම් 11 සහ නවවන වියේ පසු වන යයෙල් සහ ෂඛාර්, ඔවුන්ගේ කුඩා මුහුණු නැවත නැවතත් කඳුළින් බරවීමට තරම් බිහිසුණු බවක් අත්දැක ඇත. ඔවුන්ගේ සහෝදරිය මියගොසිණි. ඔවුන් සැනසීමට ඔවුන්ගේ පියා මෙහි නොමැත.
සාචිගේ අඩුව සෑම තැනකදී ම පාහේ දැනෙයි. ඔහුගේ නම ලෝකයාට දැන ගැනීමට සැලැස්වීම ඇගේ අවශ්‍යතාව බව ගාලි පවසයි. ඔහු මුදාගැනීමට කළ හැකි යම් කුඩා හෝ දෙයක් ඇති නම්, එය කිරීමට ඇය සූදානම් ය.
ශෝකවන්නන් බොහෝ දෙනෙක්, ඔහුගේ සහ මායන්ගේ රූප සහිත ටී ෂර්ට් හැඳ සිටියහ. “පැහැරගත් පියා” සහ “මරාදැමූ දියණිය” යන පද ඔවුන්ගේ මුහුණුවලට ඉහළින් විය. එම ඡායාරූප ඔවුන් ප්‍රීතියෙන් ගතකළ කාලයේ දී ගත් පවුලේ ඡායාරූප ය. ටී ෂර්ට් පසුපස සරල නමුත් ප්‍රබල පණිවිඩයක් විය: “සාචි ආපිට රැගෙන එනු.”
සිත් අදහාගත නොහැකි ලෙස අන්ධකාරයෙන් පිරිණු මේ මොහොතේ, ඔහුගේ පවුලට ඔහුගේ අවශ්‍යතාව දැඩි ලෙස දැනෙයි.