Tuesday, November 19, 2024

සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්නැයි ජවිපෙ ආණ්ඩුවට අභියෝග කරයි

Must read

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබා ඇති සෝෆා සහ ඇක්සා ගිවිසුම් දෙක හරහා ශ්‍රී ලංකාවේ භූමිය ඇමරිකාවේ හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ඉඩ ලබාදීමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී ඇති බවත් හැකි නම් මෙම ගිවිසුම් අහෝසි කර පෙන්වන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (25) හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමින් මෙම අභියෝගය සිදු කර තිබේ.

එහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ටිල්වින් සිල්වා මහතා…

“ඔය සෝෆා කියන ගිවිසුම අත්සන් කළේ 1995 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති කාලේ. ඒක තාම තියෙනවා. ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා හැටියට 2007 අවුරුද්දේ ඇමරිකාව එක්ක. ඇමරිකාවෙ මෙහේ හිටපු තානාපති රොබර්ට් ඕ බ්ලේක් එක්ක. ඒ ගිවිසුම අවුරුදු 10කට අත්සන් කළා, 2017 අවුරුදු 10 පිරුණා. 2017 නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ ගිවිසුම දික් කළා.

ඒ නිසා අපේ රටේ දැනටත් මේ ගිවිසුම් දෙකම වලංගුයි. මේ ගිවිසුම් දෙක අත්සන් කරලා ලංකාව පොරොන්දු වෙලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයට ඒගොල්ලොන්ගෙ හමුදා මෙහෙයුම්වලදී ලංකාවේ භූමිය ඔවුන්ට පාවිච්චි කිරීමට ඉඩ දෙනවා කියලා. ජාත්‍යන්තර නීති, සෙල්ලං නැහැ. ඒ නිසා ඕනෙ වෙලාවක ඇමරිකාව මේ කලාපයේ යුද්ධයක් ආරම්භ කරගත්තොත් ඇමරිකාව කිව්වොත් අපට ඒ යුද්ධෙ සඳහා ලංකාව පාවිච්චි කරන්න ඕනෙ කියලා අපි ඉඩ දෙන්න බැඳිලා ඉන්නවා.

අපි අහනවා දැන් ගෝඨාභය මහත්තයාලගෙන්, දැන් ජාතික ආරක්ෂාව හදන එක නම් ඔබේ අරමුණ, ඔබ සූදානම්ද සෝෆා ගිවිසුම අහෝසි කරන්න? ඔබ සූදානම්ද ඇක්සා ගිවිසුම අහෝසි කරන්න? අපි කියනවා ආණ්ඩුවට පුළුවන් නම් කරලා පෙන්නන්න.

ඔන්න කරලා පෙන්නන්න පුළුවන් නම් සෝෆා ගිවිසුම ඇක්සා ගිවිසුම අහෝසි කරලා ‘ඔන්න අපි රටට තිබ්බ අනතුරක් ගළවා ගත්තාය’ කියලා. එව්වට අත තියන්නෙ නැහැ….” යැයිද ප්‍රකාශ කර ඇත.

 

 

(lankatruth.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article