Tuesday, November 26, 2024

සත්ව අහිංසාව ඉස්මොල්ලේ ගිය සමාජය හමුවේ ඉදිවන ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව අහිංසා ස්මාරකය

Must read

 

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ඉදි ව ඇති අනේක විධ ස්මාරක අතරට මෙම 09 වන ඉරු දින පෙ.ව 10ට තවත් නවතම මාදිලියේ ස්මාරකයක් එක් වෙයි. කුරුණෑගල, පාදෙනිය ඔස්සේ වැටී ගත් කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව,සෙනරත්ගම පූලංචිය වැව අද්දර ගල්ගමුව ප්‍රාදේශීය සභාව සතු “ගිමන් හල” පරිසර උද්‍යානයේ ඉදිවන මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ලෙස නම් කොට ඇත. අප අධ්‍යක්ෂ(මෙහෙයුම්) ලෙස කටයුතු කරන කිසිදු දේශීය හෝ විදේශීය ආධාර සම්භවයක් නොමැති “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුබ සාධන සංවිධානය නම් ප්‍රජා එකමුතුව මගින් ඉදි කරන මෙය ගල්ගමුව කේන්ද්‍ර කොට ගෙන ස්ථාපිත කරවීම සඳහා වන සුවිශේෂ නිමිත්තක් ද තිබේ.

එනම් 2010 සහ 2018 යන වසර වල මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙපළ ගේ වාස භවනය වූ වනගහනයන් ගල්ගමුව ආශ්‍රිතව පිහිටා තිබීම ය. එම ඇතුන් දෙදෙනාගේ සජීවී හැඩතල සහ ප්‍රමාණයන් සහිත පිළිරූ දෙකක් කේන්ද්‍ර කොට ගත් මෙම ස්මාරකය ක්ෂීරපායි පක්ෂි, උරග, මත්ස්‍ය, සමනල යන සමස්ත සත්ව ප්‍රජාව නිරූපණය කෙරෙන බිතු කැටයමකින් ද සමන්විත ය.

තත්වය මෙසේ තිබිය දී මෙම ස්මාරකය තැනීම සම්බන්ධයෙන් අප ගේ ජන සමාජයේ බහුතර දක්වනුයේ අතිශය ඇල්මැරුණු උදාසීන ආකල්පයකි. සමාජයේ පිරිසකගේ මතයට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති අති ප්‍රබල සමාජ,ආර්ථික, සහ දේශපාලන අර්බුදය හමුවේ කඩිනම් දේශපාලනික විකල්පයන් වෙත යොමු නොවී සත්ව අහිංසා ස්මාරක තැනීම වත්මන් කුරිරු සමාජ යථාර්ථය යටපත් කරන්නකි. තවත් සමහරකු ගේ මතය වනුයේ ශ්‍රී ලංකාව සමස්ත ලෝකයෙන්ම දරිද්‍රතාව මුල් කොට ගත් දැවෙන සමාජ අර්බුද අතින් ලෝක වාර්තාවක් තැබීමට සැරසෙන පසුබිමක එම සමාජ අර්බුදයන් විසඳීම සාමූහික සමාජමය වගකීමක් ව තිබිය දී “කොහේවත් නැති සත්ව අහිංසාවක්” පෙර දැරි කර ගැනීම අතිශය අනුවණ අවිචාරවත් ක්‍රියාවක් බවකි.

එහෙත්, ඉහත සඳහන් සකල විධ චෝදනා, අපවාද හමුවේ අප නඟන ප්‍රධානතම තර්කයක් ද තිබේ.එනම් “මේ මිහිතලය මිනිස් තිරිසන් සැමගේ සම උරුමයක්” ය යන ස්වභාවික යුක්තිය පදනම් කර ගත් සනාතන දහම තහවුරු කිරීම යම් අගතියක්, අනුවණ කමක් වන්නේ කෙසේද?යන්න ය.

සත්ව අහිංසා ස්මාරකය

ස්වභාවික යුක්ති ධර්ම ආරක්ෂා කිරීම කෙරෙහි නොතකන සමාජයක් තුළ ඉහත සඳහන් ගැටළු අර්බුද ඇතුළු තවත් අනේක විධ වූ ව්‍යාකූලතා පැන නැගීමේ ස්වභාවික හැකියාවක් පවතී.ඒ සවිමත් නොවූ පදනමක් මත සවිමත් ස්ථාවර ඉදි කිරීමක් කළ නොහැකිය යන න්‍යායට අනුව ය.. ඒ අනුව සත්ව හිමිකම් ප්‍රවර්ධනය නොතකා මානව හිමිකම් සුරැකීම කෙරෙහි කැපවීමේ යෝග්‍යතාව හුවා දක්වන්නවුන් හට අප විසින් දිය යුතු කෙටි සරල පිළිතුරක් තිබේ. එනම් ජන සමාජය නම් භාජනය මානව හිමි කම් නමැති ජලයෙන් පිරවීමට පෙර සත්ව හිමිකම් උල්ලංඝනය වීම නමැති එහි ඇති සිදුරු සියල්ල වසා දැමිය යුතුය යන්න ය.

ශ්‍රී ලංකාව ථේරවාදී බුදු සසුනේ කේන්ද්‍රස්ථානය බවට ජන සම්මතයක් තිබේ. එහෙත්, බුදු දහමේ එන පරමාදර්ශයක් වන කරුණාව මෛත්‍රිය මත පදනම් වන සත්ව අහිංසාව අතින් අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ අබෞද්ධ රටවල් වලට පවා පසුගාමී වී ඇති බව ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන විට පැහැදිලිවම පෙනී යනු ඇත.කෙටියෙන් කිව හොත් නූතනයේ ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ගෝලීය ප්‍රවණතාවන් අතුරින් සත්ව අහිංසාව සහ හිමිකම් ද වේගයෙන් පෙරමුණ ගනිමින් තිබේ.ඒ අනුව බලන විට අහිංසාව පරමාදර්ශී බුදු දහම ස්ථාපිතව ඇතැයි පැවසෙන අප රටේ ජනතාව අභිනවයෙන් ඉදිවන සත්ව අහිංසාව නම් නව ආකල්පමය මැදුරේ “පිළිකන්නටම” වීසි වී තිබේ.මෙය ඉතා බරපතල,ඛේදනීය තත්වයකි.

ලෝකයේ ඇතැම් ආගම්වල මිනිස් පරිභෝජනය සඳහා විවිධ කොන්දේසි යටතේ සත්ව ඝාතනය නිර්දේශ කොට තිබේ. එහෙත්, ඒ පිළිබඳව වැඩිදුර විමසුම් වලදී පෙනී යන්නේ ඇතැම් ආගමික ශාස්තෘ වරයකු සමකාලීන සමාජ,ආර්ථික ඇතැම් විට භූගෝලීය, දේශගුණික, තත්වයන් යටතේ පවා මිනිස් පරිභෝජනය උදෙසා සීමිත ලෙස සත්ව ඝාතනය “නිර්දේශ කොට” ඇතත් එය අනුමත කොට නැති බව ය. නිර්දේශය සහ අනුමැතිය අතර පවතින වෙනස ද අප වෙසෙසින් සළකා බැලිය යුතු ය. එහෙත් කවර කරුණක් මත හෝ සත්ව ඝාතනය නිර්දේශ නොකරන බුදු දහම මාංශ අනුභවය සම්බන්ධයෙන් ද යම් ශික්ෂාවක් පනවා තිබේ. එනම් තමන් වෙනුවෙන් ඝාතනය නොකළ, නොදුටු,නෑසු සහ සැකයක් නොමැති (ත්‍රිකෝටි පාරිශූද්ධ මච්ඡ මාසං අදිට්ඨං අසුනං අපරිසංඛිතං) යන කෙළවර තුනෙන් සිත පිරිසිදු නම් පමණක් මාළු සහ මස්, (මච්ඡ,මාංස ) අනුභව කළ හැකි බවකි.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ මිහිඳු මා හිමියන් විසින් ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දීම සම්බන්ධ සමාරම්භක සංසිද්ධිය ද සතකුට අභයදානය දීමෙන් ඇරඹුණු බවට මහා වංශයේ දැක්වෙන ප්‍රවෘත්තිය ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය සහ සත්ව අහිංසාව පිළිබඳව ඇති අවියෝජනීය සබැඳියාව මැනැවින් කියා පායි. මහා වංශයේ දාහතර වන පරිච්ඡේදයේ පළමු ගාථාවේ සිට පස්වන ගාථාව තෙක් දක්වා ඇති විස්තරයේ මිහිඳු මා හිමියන් මිහින්තලයට වැඩම කරන අවස්ථාවේ දෙවන පෑ තිස් රජු මුව දඩයමට ගොස් ලුහුබැඳ යනුයේ මුව ගෝනකු පසුපස මිස මුවකු පසු පස නොවේ. පසුව මිහිඳු මා හිමියන් “තිස්ස තිස්ස” යනුවෙන් රජු ආමන්ත්‍රණය කිරීමත් සමඟ රජු තිගැස්සී ඒ හඬ කාගේ දැයි විමසිලිමත් වේ. ගෝනා ද එසැනින් අතුරුදන් වෙයි.

නමුත් දේවානම් පියතිස්ස රජු එලෙස ලුහුබැඳ යනුයේ ගෝනකු බව මහා වංශයේ කතා පැහැදිලි ලෙසම දක්වා තිබිය දී අදටත් අප රටේ ඒ සංසිද්ධිය විස්තර කෙරෙන සෑම අවස්ථාවකම හුවා දැක්වෙනුයේ ඒ සත්වයා ‘මුවෙකු’ ලෙස ය.ඒ අනුව එය ශ්‍රී ලාංකේය බෞද්ධයන් සත්ව අහිංසා ආකල්ප මුල සිටම වරදවා ගැනීමක් නැතහොත් සරල ගැමි වහරට අනුව කිවහොත් “ඉස්මොල්ලේ යවා ගැනීමක්”බව අකැමැත්තෙන් වුව පිළිගන්නට අපට සිදුවේ.එම උපමාව යම් තරමකට හෝ ගැලපේ නම් මෙම ස්මාරකය ගෙනෙනුයේ එවන් සමාජයක් හමුවට ය.
ඔක්තෝබර් මස 04 වන දින ලෝක සත්ව දිනය ලෙස ප්‍රකාශයට පත්ව ඇති බව තවමත් ශ්‍රී ලාංකේය බොහෝ දෙනෙක් නොදනිති. ඒ සත්ව අහිංසා දිනයේ නිර්මාතෘ ශාන්ත ෆ්‍රැන්සිස් නම් කතෝලික සාන්තුවරයා බව අසන්නට ලැබීම බොහෝ දෙනකු තුළ විමතියක් දනවන්නක් වීමට ද පුළුවන.

ආත්මය (ආධ්‍යාත්මය) සහ මාංශය (ලෞකිකත්වය) යන බයිබල් ඉගැන්වීම පදනම් කොට මිනිසුන්ට මෙන් සතුනට ආත්මයක් නොමැති බවත් ඔවුනට ඇත්තේ මාංශයක් පමණක් බව සළකා දැඩි ලෙස සත්ව ඝාතනවලට යොමුව සිටි සමකාලීන සමාජය අතරින් ඉතාලියේ අසිසි නුවරින් මතු වූ ෆ්‍රැන්සිස් නම් පූජක තුමෝ (ක්‍රි. ව. 1182-1226) එම ඉගැන්වීම දේව දහම විකෘති කිරීමක් ලෙසත් මේ මිහිතලයේ මිනිසුනට ජීවත් වීමේ ඇති අයිතිය දෙවියන් වහන්සේ සතුනට ද ඒක සේ ප්‍රදානය කොට ඇති බවටත් විප්ලවීය මතයක් ගෙන හැර දැක්වූහ. ඒ අනුව සත්ව අහිංසාව, හිමිකම් සම්බන්ධයෙන් සමකාලීන කිතුනු සමාජය තුළ නව පිබිදුමක් ඇති කළ එතුමන් එම ප්‍රකාශ සමකාලීන තරුණ පෙළ අතරේ අතිශය ප්‍රචලිත වූ අතර සාම්ප්‍රදායික ලෙස ආගමේ එල්ලී සිටි බහුතරයට එතුමන් “වහ කදුරු”මෙන් විය.

ඒ කෙසේ හෝ වයස අවුරුදු හතලිස් හතරේ දී නිශ්චිතව හඳුනාගත නොහැකි අබිරහස් රෝගයකින් මියගිය ෆ්‍රැන්සිස් පියතුමා පසුව කතෝලික සභාව විසින් සාන්තුවර තත්වයට පත් කළ අතර අදටත් එතුමා ලොව පුරා ප්‍රකට වී ඇත්තේ “සතුන් ගේ සාන්තුවරයා” යන නමිනි. 1226 වසරේ ඔක්තෝබර් 03 දින අභාවයට පත් එතුමන් සිහි ගැන්වීම පිණිස පසුකාලීනව ඊට පසුදින එනම් ඔත්කෝබර් 04 වන දින ලෝක සත්ව දිනය ප්‍රකාශයට පත් වී තිබේ. එවන් පසුබිමක් යටතේ මහින්දාගමනය හා සම්බන්ධ කතා ප්‍රවෘත්තියේ “ගෝනා සහ මුවා පටලැවීම” වත් නිවැරදි කර ගත නොහැකි පසුබිමක් තුළ අදටත් ශ්‍රී ලාංකේය බහුතර සත්ව අහිංසාවේ හතර මායිම සොයා ගත නොහැකිව නන්නත්තාර වී හිඳිති. ඒ අනුව මෙම ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය කිසිදු ආගමකින් තොරව හුදෙක් සත්ව අහිංසාව අගයන සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට හිමි පොදු උරුමයක් ලෙස සමාජ ගත කිරීමට අප සංවිධානය තීරණය කොට තිබේ.

මෙම ස්මාරකය නිරාවරණය කිරීම සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරකයක් ගැනීම පිණිස අප “අහිංසා ශ්‍රී ලංකා”සංවිධාන නියෝජිතයන් විවිධ මාධ්‍ය ආයතන වෙතින් විමසුම් කොට ඇත.එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු විමසා ඇත්තේ තම මාධ්‍යයෙන් පළ කිරීමට තරම් එම ප්‍රවෘත්තියේ ඇති වැදගත්කම කුමක්ද?යන්න ය. එහෙත්,පොදුවේ අප රටේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත් වල සාධනීය බව හා වැදගත්කම කෙබඳුද ? යන්න පිළිබඳ යම් විනිශ්චයක් මෙරට ජන සමාජය තුළ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර යමක් කීමට අදහස් නොකරමි. නමුදු ඒ අතරින් ජනමාධ්‍ය ආයතන දෙක තුනක නියෝජිතයන් හෝ එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට භාරගෙන ඇති බව ද පැවසිය යුතුම ය.

අප මෙම කරුණ සඳහන් කරනුයේ අප රටේ ජන මාධ්‍ය කෙරෙහි එල්ල කෙරෙන සෘජු විවේචනයක් වශයෙන් නොවේ. “ජනමාධ්‍යය යනු තත්කාලීන සමාජය නියෝජනය කෙරෙන කැඩපතකි” යන න්‍යාය ඔබ හමුවේ තහවුරු කිරීමට පමණි. ඒ කෙසේ හෝ අප සංවිධානය විසින් ගල්ගමුව ප්‍රාදේශීය සභාව සතු එම ස්ථානයේ තනා නිම කළ මෙම ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය කේන්ද්‍ර කොට ඉදිරියේ සත්ව අහිංසාව සම්බන්ධ ප්‍රවර්ධනාත්මක වැඩසටහන් මාලාවක් පෙළ ගැස්වීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. කේ. විමලරත්නයන් ඇතුළු එම මන්ත්‍රී කණ්ඩායම එකඟත්වයකට පත්ව තිබේ.එය සතුටට කරුණකි.

එමෙන්ම මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ සත්ව අහිංසා ආකල්ප ප්‍රවර්ධනය එම සිදුවීමට අදාල ගෝනා මුවකු කරගෙන පටලවා ගෙන සිටින ශ්‍රී ලාංකික බහුතරය ගේ අවධානය පිණිස අපට ආසන්නම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පුරවැසියකු ලෙස සැළකෙන මහත්මා ගාන්ධි තුමන් ගේ ප්‍රකට වැකියකින් මෙම සටහන නිමා කිරීමට මම අදහස් කරමි. ඒ අප රටේ වර්තමාන ඛේදනීයත්වය සමඟ මෙම වැකිය සසඳා බැලීමේ වගකීම ඔබ වෙත භාර කරමිනි.

“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ එහි සදාචාර සංවර්ධන විනිශ්චය කළ හැක්කේ එහි සතුනට සළකන ආකාරය ද අනුව ය.”

හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article