Thursday, November 14, 2024

වැරදි නිවැරදි කිරීම – නිරෝධායනය මගහැරියායැයි හුවමාරුකල කාන්තාවගේ ඡායාරූපය සම්බන්දවයි

Must read

පසුගිය මාර්තු 05 වැනිදා තම පියාගේ අභාවය වෙනුවෙන් මගේ බිරිඳ මව් බිමට පිටත්ව ගියාය. වයසින් අවුරුදු 20 ක් සහ 17 ක වන දරු දෙදෙනාද මේ ගමනට ඇය සමග එකතු වුණු අතර බලාපොරොත්තුව වූයේ අවසන් කටයුතු නිම වූ සැනින් යළි අපේ ස්ථිර පදිංචිය වන පැරිස් නගරයට පැමිණීමයි. මේ අනුව ඔවුන් තිදෙනා දින තුනක් මව් බිමේ ගත කොට මාර්තු 08 වැනිදා යළි පැරිස් නගරය බලා පැමිණියහ.

ඊයේ (23) ලාංකික ජනමාධ්‍යයන් බොහොමයක විකාශනයට ලක් වුණු , එමෙන්ම සමාජ ජාලා වල දහස් ගණන් දනයා විසින් බෙදා ගත් ප්‍රවෘත්තියකි. එයින් කියවුණේ ශිරාණි පීරිස් දැරණියගල වන මගේ බිරිඳ (ඇගේ ඡායාරූපයද, ලිපිනයද , හැඳුනුම්පත් අංකයද , ගමන් බලපත් අංකයද එහි පැහැදිලිව සටහන්ව තිබුණි )කොරෝනා වෛරසය සමගින් ඉතාලියේ සිට මව්බිමට පැමිණ නිරෝධානයට ලක් නොවී නිදහසේ හැසිරෙන “බෝම්බයක්” බවයි.

අප මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ ඉතා අපහසු , තීරණාත්මක අවදියක බව සැබෑය . අප සියලු දෙනාගේම ජීවිත කොරෝනා මාරයාගෙන් ගලවා ගැනීම සඳහා සංකීර්ණ දෛනික සටනකට එක වීමට අපට සිදුව තිබේ. මේ නරුම යුගයේ නොසැළකිල්ල මත හෝ , නිසි ලෙස කරුණු සොයා නොබැලීම නිසා හෝ අප අතින් වැරදි සිදුවිය හැකි බව පිළිගත් යුතු කරුණකි. මගේ බිරිඳ කොරෝනා වෛරසය සමාජයට බෙදන බෝම්බයක් බව ලංකාවේ සියලුම ජනමාධ්‍යයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ එවැනි වැරදීමක් නිසා විය යුතුය.

එහෙත් මෙවැනි වැරදි , නිවැරදි කර ගත්නේ කෙසේද…? ඒවා යළි නිසි ලෙස නිවැරදි කර ගත හැකිද…?

මුලින්ම කිව යුත්තේ මේ අසත්‍ය තොරතුර මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ රජයේ බුද්ධි අංශය විසින් බවයි.

ඊයේ සවස් යාමයේ මේ ආරංචිය දැන ගත් මොහොතේ පටන් පැය ගණනාවක් පුරා , එහි නිවැරදි කිරීම් වෙනුවෙන් මම සටන් වැදුනෙමි. ඇමතුම් ලබා දිය යුතු තැන් , පුද්ගලයන් සොයා යමින් ඔවුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළෙමි . එය පහසු වුයේ නැත. මගේ බිරිඳ මව්බිමට පැමිණියේ ඉතාලියේ සිට නොවන බවත්. ඇය ශ්‍රී ලාංකික සහ ප්‍රංශ ද්විත්ව පුරවැසිකම් දරන බවත් , මේ වන විට ඇය පැරිසියට පැමිණ ඇති බවත් දන්වමින් මේ දරුණු අත් වැරදීම නිවැරදි කරන ලෙස අදාළ බලධාරීන් වෙත මම ඊ මේල් පණිවුඩ යොමු කළෙමි . ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය , විදේශ කටයුතු අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය , ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ප්‍රංශයේ ස්වදේශීය කටයුතු අමාත්‍යංශය , පිළියන්දල පොලිස් ස්ථානය යන ආයතනයන්හි අදාළ බලධාරීන් වෙත පනිවුඩ යොමු කළෙමි . එමෙන්ම පැරිසියේ පදිංචි මා මිතුරි සංජිව බටුවත්ත තමන් හඳුනන මාධ්‍ය සගයන් එක කර ගනිමින් තත්වය නිරාකරණය කර ගන්නට උත්සාහ දැරුවේය. අවසානයේදී වරද නිවැරදි කර ගන්නට හැකි විය . එයට පැය 24 ක් කාලයක් ගත වුණු අතර මේ කාලයේදී බොහෝ ආපදා සිදුව තුබූ බව නොකියා බැරිය .

මගේ බිරිඳගේ මුහුණ සහ විස්තර යොදා සකසා “සොයා දෙන්න ” යනුවෙන් ලියා දහස් ගණනින් පැතිර ගිය පෝස්ටු රාශියකි.

ලොව පුරා ජනයා දහස් ගණනින් මිය යන මේ නරක කාලයේ වැරදීමකින් සිදුවූ මෙම අසාධාරණය වෙනුවෙන් නීතිය ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටින්නට මට නොහැකිය. තමන් අතින් සිදුව ඇත්තේ වැරදීමක් බව අදාළ පුද්ගලයන් පිළිගත්හ. එයම සතුටට කරුණකි. එහෙත් හදිසියේම, කිසිදු පදනමක් නොමැතිව සමාජ ජාලා සහ ජනමාධ්‍ය විසින් බිරිඳ සමාජ හතුරකු ලෙස හංවඩු ගැසීම ඉවසා සිටින්නට ද නොහැකිය.

අප සියලු දෙන අතින් වැරදි සිදුවෙයි. ඒවා නිවරදි කර ගන්නට අපි උත්සාහ කරමු. වරද සිදුවුණු මොහොතේ සිට නිවැරදි කර ගැනීම දක්වා කාලය තුළ සිදුවන ආපදාවට වග කියන්නේ කවුරුන්ද… නොදනිමි.

ඊයේ දවස පුරා මුහුණු පොතේ මේ අසත්‍ය ආරංචිය බෙදා ගත් දහස් ගණන් දනා ගෙන් මා ඉල්ලා සිටින්නේ හැකියාවක් තිබේ නම් මේ මොහොතේ එය ඉවත් කර දමන ලෙසයි. ආපදාව අඩු කර ගැනීමට එය ඉවහල් වනු ඇත.

(සිදුවීම සිදුවූ කාන්තාවගේ සැමියා වන සුදත් සිල්වා මහතාගේ සටහනකි.)

පොලීසිය විසින් නිකුත් කල නිවේදනය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article