ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක හා දේශපාලන කණ්ඩායම් නායකයා මාවේයි සේනාධිරාජා (83) අභාවප්‍රාප්ත වී තිබේ.
මාවේයි සේනාධිරාජා (ජනවාරි 28 වැනිදා) සිය නිවසේදී ඇද වැටීමෙන් හිසට තුවාල සිදුව යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත විය.
යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති පැවසූවේ සේනාධිරාජා ගේ හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුව තිබූ බවය.
මාවෙයි සේනාධිරාජා යනු කවුරු ද?
1942 වසරේ ඔක්තෝම්බර් 27 වැනිදා යාපනය, මාවට්ටපුරම් ප්‍රදේශයේදී උපත ලද සේනාධිරාජා යාපනය නඩේශ්වරා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති සේනාධිරාජා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්ණ කර ඇත.
දෙමළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (TULF) අනුබද්ධ තරුණ පෙරමුණ හරහා සිය දේශපාලන දිවිය ආරම්භ කළ සේනාධිරාජා 1966 දී තරුණයෙකු ලෙස දේශපාලනයට පිවිස තිබිණි.
1966 සිට 1969 දක්වා හෙතෙම දෙමළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අනුබද්ධ තරුණ පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇත.
1972 වසරේදී දෙමළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (TULF) අනුබද්ධ තරුණ පෙරමුණේ ලේකම් ලෙසටද සේනාධිරාජා කටයුතු කර ඇති අතර 1969 සිට 1983 දක්වා කාලය තුළ හෙතෙම අවස්ථා කිහිපයකදී සිරගතව ඇති අතර දේශපාලන ගැටුම්වලටද ඔහු ඒ සමයේ සෘජු දායකත්වය දක්වා තිබිණි.
පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමන් මග
1989 දී පළමුවරට යාපනය දිස්ත්‍රික්කයෙන් දෙමළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (TULF) යටතේ පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වු මාවෙයි සේනාධිරාජා එහිදී ජන්ද 2820 ක් ලබා ගත් නමුත් එවර ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි විය.
අනතුරුව 2000 වසරේදීත් දෙමළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (TULF) යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු සේනාධිරාජාට එම වසරේදී ද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසනයක් ජය ගැනීමට නොහැකිවු අතර එවර ඔහු ඡන්ද 10,965ක් ලබාගෙන තිබුණි.
අනතුරුව පැවැත්වු 2001, 2004, 2010 හා 2015 මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය යටතේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සිය ආසනය තහවුරු කර ගැනීමට සේනාධිරාජා සමත් විය.
2001 වසරේ සිට 2020 දක්වා මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කටයුතු කළේය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පත්වීම
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 1949 දෙසැම්බර් 18 වැනිදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම් ගේ නායකත්වය යටතේ ආරම්භ කර තිබේ.
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයද පසුගිය සමය පුරාවටම ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකත්වය විසින් දරනු ලැබීය.
1949 වසරෙන් පසුව පැවැත්වූ සෑම මැතිවරණයක් වෙනුවෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තරග කර ඇති අතර දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව පසුගිය මැතිවරණවලදි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් විය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සංකේතය වන නිවස ලකුණ දෙමළ ජාතික සන්ධානයේ සළකුණ ලෙසට ලබාගෙන පසුගිය මැතිවරණයන්හිදි දෙමළ ජාතික සන්ධානය මැතිවරණ වෙනුවෙන් තරග කළේය.
2001 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා 2014 වසරේ සිට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනු ලැබීය.
පැවති අසනීප තත්ත්වයන් මත 2024 වසරේ ජනවාරි මස සිට මාවෙයි සේනාධිරාජා පක්ෂ නායකත්වයෙන් ඉවත්වු අතර අසනීපව රෝහල්ගත කරන තෙක්ම ඔහු පක්ෂයේ අනුශාසක හා දේශපාලන කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය.
යුද සමයේ දේශපාන භූමිකාව
මෙරට පැවති සිවිල් යුද්ධය ආරම්භයේ සිටම අවසානය දක්වා ක්‍රියාකාරී දේශපාලන නායකයෙකු ලෙස මාවෙයි සේනාධිරාජා කටයුතු කරනු ලැබීය.
යුද්ධය පැවති සමයේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට ආර්.සම්බන්ධන් කටයුතු කළ අතර ආර්. සම්බන්ධන් නැගෙනහිර පළාතේ ගැටළු වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවේ උතුරු පළාතේ ජනතාවගේ ගැටළු වෙනුවෙන් සෘජු මැදිහත්වීම සේනාධිරාජාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය.
යුද සමයේ උතුරු පළාතේ ගැටළු වෙනුවෙන් රජයේ පාර්ශවය හා LTTE සංවිධානයේ පාර්ශව සමඟ සාකච්ජා කොට ජනතා ගැටළු විසදීමට මාවෙයි සේනාධිරාජා සෘජු දායකත්වය සපයන ලදි.
| BBC