පණ ඇති මිනිසුන්ට ප්‍රේම කරනවාට වඩා ගහට කොළට , ඉතිහාසයට . කලාවට සහ ඉපැරණි ශිෂ්ඨාචාරවලට පෙම් කරන්නෙමි.දිගු කලක් තිස්සේ ප්‍රේමයෙන් වෙලිසිටි ඇය පණ පිටින් දැවෙන අයුරු දකිමි.
සේන් ගඟ දිගේ යාත්‍රා කරන විට , මා තනි නොකර , පැරිස් නගරයේ ගොඩ නැගිලි අතරින් ඇය ප්‍රතාපවත් ලෙස නැගී සිටියාය .
නොත්‍ර දාම් පල්ලිය මුළුමනින්ම කළා ගාරයකි , ඉතිහාසයකි , සාහිත්‍යයකි
අවුරුදු 800කට වඩා පැරණි එහි වහලයද , ආරුක්කුද , කළු ගල් කැටයම්ද , ඇතුල්වන ප්‍රධාන දොරටුවේ පිහිටි ශාන්තුවරයින්ගේ ප්‍රතිමාද , දැවැන්ත බිත්ති වල ඇති වර්ණ වීදුරු කවුළුද ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවේ මහිමය කියයි .
වික්ටර් හියුගෝ නම් මහා ලේඛකයා ලියූ HUNCHBACK OF NOTRE DAME කෘතියේ විරූපී මෙහෙකරුවෙකු සුරූපී නළඟනක් වෙනුවෙන් ප්‍රේමය සහ ජීවිතය පිදූ හැටි ළමා කාලයේ අප හඬවා තිබේ .
ඒ මතකය ඔස්සේ මෙතැනින් යන එන හැම මොහොතකම අසළ ගං ඉවුරේ ඇති චෙස්නට් ගසක් යට සිට උඩුමහලේ ඇති එක් සුවිශේෂ ප්‍රතිමාවක් දෙස බොහෝ වේලා බලා සිට ඇත .
හතර කොණේ ඇති කුරුළු මුහුණක් සහ මිනිස් දෑත් ඇති භූත පිළිරුව එහි තිබූ අපූරුම නිර්මාණය විය .පැරීසිය දෙස බලා සිටින එහි ඇති දෑස බිය ජනිත කරවයි . වසර 800 කට පෙර ඉතිහාසයේ, පැරිසියේ දරුණු ශීත ඍතුවල මේ ඉහළ අසීරු ආරුක්කු වල සිට මෙතරම් සුක්ෂම ලෙස මේවා නෙලූ මිනිසා පිළිබඳව සිහිපත් කරමි .
අද අහසට නැගෙන ගිණි දළු අතරින් , ඒ ඉතිහාසය නිමා වෙයි . අහසට එසැවී සිටි මුදුන් කොත කඩා වැටෙන දර්ශනය ආදරණීය වැඩිහිටියෙකුගේ මරණා සන්න මොහොතේ මරණ මංචකය ළඟදී දැනෙන වේදනාව විය යුතුය .
දැවෙන චිතකයක සැකිල්ල අඟුරු වී කඩා වැටෙන ශෝකීය දසුනකි
අවසන් වරට ගිය වසරේ පැරිසියේ සේන් ගඟ දිගේ විත් CITE නම් දුපතේ පිහිටි මේ උත්තුංග ශිෂ්ඨාචාරයේ සාක්ෂිය දෙස බලා සිටියෙමි , සේයා රූ ගත්තෙමි . අද මෙවැනි අවසන් ගමනක් යතැයි සිහිනෙනුදු නොසිතුවෙමි .
යළි කිසි කලෙක මිහිතලය මත එවැනි කළා කෘතියක් බිහි නොවන බව ඉඳුරාම දනිමි .
දැව කඳන් ද , ගල් කුට්ටිද , වීදුරුද, දේව භක්තියද , මනුෂ්‍යත්වයද එකතුකර බිහිකළ මෙතරම් රූමත් යමක් ලොවේ නැත .
ඉතිහාසයේ එක් පරිච්චේදයක් අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් පවතී . කිතුණුවන්ගේ ශෝක කාලයේ අවසාන මහා සිකුරාදා එළඹෙන විට එහි භෂ්මාවශේෂ සීතල සුළඟේ පාවී සේන් ගඟ දිය මත පතිත වනු ඇත . එහෙත් මට ඇය කිසි දිනෙක අමතක නොවේ
– නාරද විජයසූරිය –