
පසුගිය දා කොළඹ මහේස්තාත් අධිකරණයේ වෙඩි තැබීම පසෙක තැබුව ද පාතාල වෙඩි තැබිම් රැසක් රටපුරාම මේ දිනවල සිදුවෙමින් තිබීම රට තුළ මහත් ආන්දෝලනයකට ලක් ව ඇත.පාතාල ක්‍රියාකාරකම්, කුඩු ජාවාරම සහ අපරාධ ආදිය මර්දනය සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ඉකුත් 19 වන දා අවධාරණය කොට තිබේ.ඔහු පවසා ඇත්තේ පාතාලය, කුඩු ජාවාරම මෙන්ම කළු සල්ලි ආදි ක්ෂේත්‍ර අංශ ගණනාවක් සමඟ දැඩිව බද්ධ වී ඇති බවත් මෙම සියලු අපරාධ මර්දනය වෙනුවෙන් ආණ්ඩුව මේ මොහොත වන විටත් ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කරමින් සිටින බවත් ය..එමෙන්ම ඇතැම් පිරිස් මෙරට සිට මෙන්ම විදෙස් රටවල සිටිමින් විවිධ අපරාධ මෙහෙයවන බවත් විශේෂ කාර්ය බලකාය, පොලීසිය මෙන්ම බුද්ධි අංශ ද යොදවමින් අපරාධ මර්දනය සඳහා උපරිම මැදිහත්වීම සිදුකරන බවත් ඇමැතිවරයා කියා තිබේ.ඔහු මේ බව සඳහන් කළේ ද අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදු වූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.නමුත් ඉහත සඳහන් ජනාධිපති වරයාගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වරයාගේ කතා සම්බන්ධයෙන් අපට ද කීමට යමක් තිබේ.එනම් ‘ඕවා අද කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් මිස අමුතු සොයා ගැනීම් නොවන” බව ය.
කිසියම් රටක නීතිය,යුක්තිය,සදාචාරය ඉක්මවා ගිනි අවි ක්‍රියාත්මක වීම එම ජන සමාජය වෙත සිදු විය හැකි බිහිසුණුම අනර්ථයකි.චිකාගෝ හි විශාලතම අපරාධ රැල්ල නමින් හැඳින්වෙන මෙම අපරාධ ආකෘතිය සහිත මෙම මනුෂ්‍ය ඝාතන, සන්නද්ධ මංකොල්ලකෑම්, කල්ලි ප්‍රචණ්ඩත්වය “චිකාගෝ” නමින් හැඳින්වීම ලොව පුරා සිදු වෙයි.එකී නොකී සකල විධ අපරාධ වලට එරෙහි අපරාධ නිවාරණය නම් වන ක්‍රමවේදයක් ලොව පුරා ක්‍රියාත්මක වේ.
අපරාධ වැලැක්වීම යනුවෙන් ද සැලකෙන මෙම ක්‍රියාවලිය සාපරාධී ක්‍රියාවන් හි ව්‍යුහය සම්බන්ධ වල මුලික හේතු හඳුනා ගැනීමෙන් පසු සාපරාධී ක්‍රියාකාරකම් අධෛර්යමත් කරන පරිසරයන් නිර්මාණය කිරීම ය.හුදු විද්‍යාත්මක ක්‍රමවේදයක් වන එය ඕනෑම ක්‍රියාකාරී සමාජයක අත්‍යවශ්‍ය අංගයකි, මන්ද එය මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීමට අමතරව සමාජ යහපැවැත්ම සහ ආර්ථික සමෘද්ධිය සඳහා ද නියත වශයෙන්ම දායක වන බැවිනි.
අපරාධ තේරුම් ගැනීම එහි සමාරම්භක පියවර ය.අපරාධ ඵලදායි ලෙස වැළැක්වීම සඳහා අපරාධ කෙරෙහි බලපාන අභ්‍යන්තරික හේතු සාධක තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. අපරාධය යනු පුද්ගල, සමාජීය සහ පාරිසරික සාධකවල එකතුවකින් බලපෑමට ලක්වන සංකීර්ණ සංසිද්ධියකි. මෙම සාධකවලට දරිද්‍රතාවය, විරැකියාව සහ සදාරාර අධ්‍යාපනයක් නොමැති කම, මත් ද්‍රව්‍ය අනිසි භාවිතය සේම මානසික සෞඛ්‍ය ගැටලු සහ සමාජ අසමානතාවය ඇතුළත් විය හැක.ඒවා ඒ එක් එක සමාජයන් අනුව වෙනස් වේ.
වර්තමානයේ අප රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව පෙනෙන අපරාධ රැල්ල මුල් කොට බලයට පත් දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නැත. ඒ සඳහා අපරාධ සම්බන්ධයෙන් ජන මනැස හැසිරවීමේ තීරණාත්මක කාර්ය භාරයක් සිදු කරන අවිචාරවත් ජන මාධ්‍යකරුවෝ ද එම වග උත්තර කරුවෝ වෙති. වර්තමානයේ පවත්නා විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය අතර තියුණු තරඟය මුල් කොට ජනතාව “ඇවිස්සවීම” මුල් කොට ගත් මාධ්‍ය කලාව වත්මන් සමාජය තුළ කිරුළු දරන බවක් පෙනේ. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලබන ප්‍රධානතම යෙදවුමක් වනුයේ අපරාධ වාර්තාකරණ ස්වභාවයයි. එහි දී ලොව බොහෝ රටවල දක්නට නොලැබෙන අයුරින් ජනතාව තුළ ප්‍රචණ්ඩත්වය කෙරෙහි නැඹුරුවක් පළ වන අන්දමින් එළිපිටම අපරාධ වාර්තාකරණයට යොමු වීම වත්මන් ජන මාධ්‍යයේ “ජනප්‍රිය විලාසිතාවක්” බවට පත්ව තිබේ. අපරාධ වාර්තාකරණයේ දී අපරාධකරු කෙරෙහි වීරත්වයක් ආරෝපණය කෙරෙන අයුරින් ඔවුන් ගේ තොරතුරු අනාවරණය කිරීම, අපරාධමය සිදුවීම් වාර්තා කිරීම්න පිණිස විවිධ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගැනීම සේම අපරාධ සම්බන්ධ තොරතුරු විශ්ලෙෂනය කිරීමේදී නීතියට හසුවන අපරාධ කරුවන් පිළිබඳව විස්තර කිරීමේදී ඔවුන්ට ඉන් අත් මිදී සිටිය හැකි උපාය මාර්ග පවා ජනතාව හමුවට ඉදිරිපත් කිරීම අතිශය භයානක ප්‍රවණතාවයකි
එමෙන්ම විවිධ පුද්ගලයන් ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරවන ඇතැම් මාධ්‍ය කරුවෝ තමනට මුහුණ පෑමට සිදුව ඇති ජීවිත තර්ජන සහ ඒවාට වගකිය යුතු පුද්ගලයන් පිළිබඳව පවා ඔවුන් වෙතින් වමාරවති. එවිට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා තුන් වන පාර්ශවයන් එසේ අදහස් පළ කළ පුද්ගලයන් අබිරහස් ලෙසින් ඝාතනය කළ සැනින් ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව වටහා ගන්නා ආකාරයක් තිබේ. එනම් ඔවුන් මරණීය තර්ජන ඇති බව පැවසූ පාර්ශවයන් විසින්ම ඔවුනට එම අපරාධය කළ බවකි.මෙම් සමාජමය නොමඟ යැවීම ගැටළු අර්බුද රාශියකට මුල් පුරන්නකි.
එමෙන්ම මේ දිනවල ජනප්‍රියතම දේශපාලනික මාතෘකාවක් බවට පත් ප්‍රභූ ආරක්ෂාව විධිමත් අධ්‍යනයකින් තොරව ලිහිල් කිරීම ද ඉතා අවදානම් සහගත කාර්යයකි. ඊට හේතුව එමගින් ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය තුන් වන පාර්ශවයක ගිනි අවි එම ප්‍රභූන් වෙත එල්ල වීමට ඇති හැකියාව ය.