ජනාධිපති සිරිසේන කුමන්ත්‍රණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීම වෙනුවෙන් පිල් මාරුවක් සඳහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර වෙත ලබාදුන් දුරකථන ඇමතුමක හඬ පටයක් නිකුත්ව ඇත.එහි  තම පාර්ශවය සමඟ එක්වන ලෙස ජනාධිපති සිරිසේන විසින් රංගේබණ්ඩාර අමතා සිදුකරන ආරාධනය පැහැදිළිව සටහන්ව ඇත.

ඊට රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා දක්වන ප්‍රතිචාරයද ඉතා පැහැදිළිව සටහන්ව ඇති අතර මහින්ද රාජපක්ෂ සමඟ එකට වැඩ කිරීමට කොහෙත්ම හිත හදාගන්න බැරි බව එහිදී රංගේබණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කරයි.

නමුත් ජනාධිපති සිරිසේන විසින් ඒ ගැන හමුවී සාකච්ඡා කිරීමට යෝජනා කරයි.

එම හඬ පටය voicetube.lk වෙබ් අඩවිය විසින් අන්තර්ජාලයට එක්කර ඇති අතර එය පහත දැක්වේ.

 

රංගේබණ්ඩාරගේ අනාවරණය !

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරව කුමන්ත්‍රණ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා  රුපියල් කෝටි 50 ක මුදලක් සහ කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට ගනුලැබූ උත්සාහය හඬපට සාක්ෂි සහිතව අනාවරණය වීමත් සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන්  බරපතල අර්බුදයකට පත්වූ බව ඔබට මතක ඇත.

පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා එම අනාවරණය සිදුකර සිටියේ පසුගියදා  (03) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි අතර  එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට යන්නේ රුපියල් කෝටි 50 ක් සහ කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම හරහා යන්න එහිදී පැහැදිළිව අනාවරණය කෙරිණ.

ඒ බව තහවුරු කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර හඬපට ගණනාවක්ද  ප්‍රචාරය කර පෙන්වනු ලැබීය.

පළමුව එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කරන නලින් නැමැත්තෙකු දුරකතනයෙන් අමතා ඇති අතර පසුව යෝෂිත රාජපක්ෂගේ නියෝජිතයකු බව කියන දිනුෂ නැමැත්තෙකු අමාත්‍යවරයා වෙත ඇමතුම් ගණනාවක් ඒ අතර විය.

ඒ අතර  යෝෂිත රාජපක්ෂගේ නියෝජිතයා වූ දිනුෂ නැමැත්තා රාජ්‍ය අමාත්‍යවරයා අමතා මහාචාර්ය රංජිත් බණ්ඩාර  හරහා රුපියල් කෝටි 50 ක මුදල ලබාදිය හැකි බවට දන්වා තිබීමද ඇතුලත්ව තිබිණ.

ප්‍රසිද්ධියේ බොරු කියන සිරිසේන ජනාධිපති !

කෙසේවුවත් ඊයේ (11)ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති සිරිසේන සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව විසුරවාලීමට මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් ලංසු නියමවීමද හේතුවක් වූ බවය. එහෙත් සාක්ෂි ඇතිව මන්ත්‍රීවරුන් සඳහා මිල නියම කළේ ජනාධිපති සිරිසේන ම මැදිහත්වී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පිහිටවූ කුමන්ත්‍රණ ආණ්ඩුවම බව සාක්ෂි ඇතිව දැන් ඔප්පුවී හමාරය.

එසේම පාර්ලිමේන්තුව විසුරවීම පවා නීති විරෝධී – ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් පමණක් නොව ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව අද මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සාක්ෂි සහිතව ඔහ්හු කර සිටියේය. ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් විභාගයේදීය.

එහි වැඩිදුර විභාගය හෙට (13) දිනට කල්තබා ඇත. ඒ තීන්දුව කුමක් වුවත් සාක්ෂි සහිතව තහවුරුවී තිබෙන කරුණු රැසක් හමුවේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ලොක්කන්ගේ ඇඳිවස්ත්‍ර අහිමි බවට නම් විශේෂ අධිකරණ තීන්දු අනවශ්‍යය.
newstube.lk