කොස්තාපල්වරයා නීතිඥවරයාට පහර දී ඇති බව පෙන්වීමට සහ නීතිඥවරයාගේ හැසිරීම ගැටලුවක් නැතැයි පෙන්වීමට නීතිඥවරු බොහෝ දෑ ෂෙයාර් කරති. කොස්තාපල් පහර නුදුන් බව පෙන්නවීමට සහ නීතිඥ වන්නිනායකගේ හැසිරීම වැරදි බව පෙන්වීමට පොලිසියේ පිරිස් සහ මහජනතාව විවිද දෑ ෂෙයාර් කරති.
එහෙත් තවම තේරුම් නොගත් බරපතලම කාරණය මේ දෙකෙම නොවේ. කිසිම විමර්ශනයක් නැතුව කොස්තාපල් අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්නයි. කොස්තාපල් පහර දුන්නේනම් එය විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගත යුතු තත්ත්වයක් වන අතර එය ඇප දිය හැකි වරදකි. පොලිසියට ඔහුට නීති උපදෙස් ලබා ගැනීමටත්, නීතිඥ සහාය ලබාගැනීමටත් අවස්ථාව දිය යුතුව තිබිණි. ඔහු පහර දීමක් කර නැතිනම් ව්‍යාජ පැමිණිල්ලක් දමීම ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබිණි.
කිසිම විමර්ශනයක් නැතිව පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීම ඉතාම බරපතල තත්ත්වයකි. යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා මෑතකදී ලබා දුන් තීන්දුවක සඳහන් වන්නේ පුරවැසියකුගේ පුද්ගලික නිදහස අත්තනෝමතිකව අහිමි කිරීමට පොලිසියට තබා අධිකරණයට ද නොහැකි බවයි. එසේ තිබියදී නිසි විමර්ශනයකින් තොරව කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීමෙන් පෙන්නුම් කරන්නේ අත්තනෝමතික ලෙස නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රමය තවමත් ක්‍රියාත්මක වන බවයි. සැකකරුවකුට වුව තිබිය යුතු හිමිකම් තවදුරටත් අහිමි කරන බවයි.
පොලිස් කොස්තාපල් කෙනෙක් විෂයෙහි මෙලෙස හැසිරෙන පොලිසිය සාමාන්‍ය පුරවැසියකු විෂයෙහි කෙසේ හැසිරේයිදැයි සිතාගත හැකිය.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොට්ඨාසභාර පොලිස් අධිකාරීගේ ක්‍රියාකලාපය ගැන වහාම විමර්ශනයක් කළ යුතුය. රටම දන්නා 2022 මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට සිද්ධියේදීද පොලිසිය කළේ මෙයමය. කිසිම විමර්ශනයක් නැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමය. කෙසේ වෙතත් මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බී වාර්තාව පරීකෂාකර බලා විමර්ශනයේ තත්ත්වය ගැන අවධානය යොමු කළ හෙයින් එදා පුරවැසියන් පිරිසකගේ පෞද්ගලික නිදහස සීමාවීම නතර විය. එදා නීතිඥවරු 500ක් පමණ එකහඬින් කීවේ විමර්ශනයක් නැතිව පෞද්ගලික නිදහස සීමා කිරීම කළ නොහැකි බවයි. නීතිපති දෙපාර්තමේන්තුව කීවේ එම අවස්ථාව ලසකා බලා දින දෙකකට හෝ පිරිස රිමාන්ඩ් කළ යුතු බවයි.
මිරිහානේ සිදුවීමෙන් වසර තුනක් ඉක්ම ගියද අදත් තවදුරටත් පෙන්නුම් කරන්නේ එදා මෙන්ම අදත් පොලිසිය බලපෑම් මත හෝ එලෙස නැතුව හෝ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවයි.
කොස්තාපල් පහර දුන්නා නම් ඔහුට නීතිය ක්‍රියාත්මක කළයුතුය. පහර දී නැත්වම් නීතිඥවරයාට නීතිය ක්‍රියත්මක කළ යුතුය. ඒ කුමක් කරන්නත් පෙර විමර්ශනයක් සිදු කළ යුතුය. නීතිඥයාට සහ කොස්තාපල්ට යන දෙදෙනාටම නීතියෙන් ලැබී ඇති හිමිකම් තිබිය යුතුය. නීතිය ක්‍රියාත්මකවීම අත්තනෝමතික නොවිය යුතුය.
දෙපාර්ශ්වයම අද මෙම අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කරීම සමස්ථ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් කඩවීම වැලැක්වීම සඳහා වැදගත් වනු ඇත. අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම ගැන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
තරිඳු ජයවර්ධන
2025 ඔක්තෝබර 13 වැනිදා

