Sunday, December 22, 2024

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ

Must read

pinterest sharing button
messenger sharing button
යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක්

තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින් පොලීසිය දෙමළ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලීසිය විසින් මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා, කමලේස්වරන් විජිතා, සෙල්ව විනෝද් සුජානි සහ නවරත්න රාසා හරිහර කුමාර් යන සිව් දෙනා මුතුර් අධිකරණය විසින් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බවයි.

පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය ද  ප්‍රදේශවාසීන් විසින් විඩියෝ ගත කර තිබේ.

පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක්වු තම සමීපතමයන් සිහි කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය සාම්පුර්, සේනයුර් පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී කැද පිසීමට ප්‍රදේශවාසී ජනයා මැයි 12 වැනිදා ඉරිදා උදෑසන කාලයේ කටයුතු සුදානම් කර තිබුනි.

එම අවස්ථාවේ වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මෙන්ම ජනයා ඒකරාශි කිරීම හා ආහාර පාන ලබා දීම තහනම් කරමින් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සහිතව එම ස්ථානයට පැමිණි සම්පුර් පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගය එම පිරිසට ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුනේ තමන් යුද්ධයේදී මිය ගිය සිය ඥාතීන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පමණක් කැද පිසීම සිදු කරන බව පවසමිනි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියට අනුව, නඩු අංක A 12 211/24, පැමිණිලිිකරු වන  සම්පුර් පොලිස් ස්ථානය භාර නිලධාරියාගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, මුතුර් අධිකරණය විසින් මුල්ලිවයිකාල් කැද බෙදා දීමට මෙන්ම මුල්ලිවයිකාල් අනුස්මරණයට එරෙහිව වාරණ නියෝගයක් මැයි 12 වැනිදා නිකුත් කර තිබේ.

ආණ්ඩුවේ සම්බාධක නිසා කුසට අහරක්, ලෙඩට බෙහෙතක් නැතිව සිටි දසදහස් සංඛ්‍යාත ජනකායක් එදාවේල පිරිමසාගත් අයුරු සිහිපත් කරමින්, බර අවියෙන්ද, හාමතින්ද, රෝගාබාධයෙන්ද මියගියවුන්ට පිං අනුමෝදනා පිණිස පවත්වන ‘මුල්ලිවයික්කාල් කන්ජි’ දන්සලක් තහනම් කිරීමට හේතු අධිකරණ නියෝගයේ පැහැදිලි කර ඇත්තේ පහත අයුරිනි.

“සාම්පූර් පොලිස් වසමේ නීත්‍යානුකූලව භාවිත කළ හැකි පොදු ස්ථාන, පාසල්, කෝවිල්, වැනි පොදු ස්ථානවල වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය අය අනුස්මරණය කිරිමේ අරමුණින් ක්‍රියාත්මක වීම, නීතිවිරෝධී ලෙස ජනතාවට අපහසුතාවයක් ඇති වන ආකාරයෙන්  පුද්ගලයන් එක්රැස් කිරීම, මෝටර් රථ පෙළපාලි සහ ජනතාවගේ සෞඛ්‍යයට බාධා වන අයුරින් ජනතාවට බෝවන රෝග ඇති වන අයුරින් පොදු ස්ථානයක රැස්වීම, මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ඕනෑම බෝවන රෝගයක් ඇති වන පරිදි ජනතාවට ආහාර භාජන හෝ කැද, ඕනෑම බීමක් ලබා දීමට ජනතාව එක්රැස් කිරීම හෝ ජනතාවගේ සෞඛ්‍යට හා ජීවිතයට අනතුරක් විය හැකි කිසිදු ක්‍රියාකාරකමක් කිරීමෙන් වැලැකී සිටීමට….,”

ඒ අනුව දින 14 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි මහවිරු සංගමයේ සභාපති කන්දයියා කාන්ඩීපන්, මහවිරු සංගමයේ උප සභාපති සාන්තලිංගම් කෝපිරාසා , මුතුර් මහවිරු සංගමයේ භාණ්ඩාගාරික නවරත්න රාසා හරිහර කුමාර්, මුතුර් මහවිරු සංගමයේ ලේකම් සෙල්ව විනෝද් සුජානි, මහවිරු සංගමයේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන්ට අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

මුල්ලිවයික්කාල් කන්ජි (முள்ளிவாய்க்கால் கஞ்சி)

යුද්ධයේ අවසාන දිනවලදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී රෝගාබාධ සඳහා බෙහෙත් නොලැබ සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට නොමැරී දිවි ගලවාගන්නට පිහිටවුණේ මුල්ලිවයික්කාල් කන්ජි නමින් ඉතිහාසගතවූ කැඳයි.

එහි තිබුනේ වතුර ගොඩක පිසූ සහල්ය. හැකි විටෙකදී ඊට ලුණු බිඳකුත් එකතු කෙරිණි.

දෙමළ වර්ග සංහාර සතිය උතුරු නැගෙනහිර දී මෙවර මැයි 11 වැනිදායින් ආරම්භ කරන ලද්දේ දොරින් දොර ගොස් රැස් කරගත් සහලින් පිසූ කන්ජි දන්සල් පවත්වමිනි.

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කරමින්  මැයි 18 වැනිදා මුල්ලිවයික්කාලේ පවත්වනු ලබන අනුස්මරණ රැලියකින් දෙමළ අනුස්මරණ සතිය නිමාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගණන් බැලීම අනුව යුද්ධයෙන් මරාදමන ලද නිරායුද ජන සමූහය අඩුම වශයෙන් හැත්තෑ දහසකි.  එතෙක් මෙතෙක් පැවති ශ්‍රී ලංකාවේ ආණ්ඩු එම සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කර තිබේ.

 


kpkdfe3

 theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article