ඉදිරි මැතිවරණය සදහා ප්‍රධාන පක්ෂ වලින් දූෂිත පුද්ගලයන් ඉදිරිපත් නොකල යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝදෙනෙකු සම්බන්ධව ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත්, වංචා දුෂණ සොර මැරකම් ඇතුලු නීතිවිරෝධී වැඩවලට සම්බන්ධවූවන්ට මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකත්වය නොදීම සෑම පක්ෂයකම වගකීම බවත් මල්වතු පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ අවධාරණය කරති. උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (30) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක මාර්තු 12 ප්රකාශනයේ පිටපතක් භාර දුන් අවස්ථාවේදීය.
පක්ෂ වලින් දූෂිත පුද්ගලයන් මෙම මැතිවරණය සදහාත් ඉදිරිපත් කරන්නේ නම් ජනතාව දුරදිග නොබා ඡන්දය භාවිතා කරන බවත් මැතිවරණ සමයේදී ජනතාව බොහෝ විට කල්පනාකරනු ලබන්නේ තමන්ට ලැබෙන්නේ කුමක්ද යන්න බවත් මේ නිසා අපේක්ෂකයන්ට මැතිවරණ සමයේ ඇති තරම් මුදල් වැයකර ඡන්දය ලබා ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ. ඒ හේතුවෙන් වියදම් කිරීමට මුදල් නොමැති අවංග බුද්ධිමත් පුද්ගලයන්ට පාර්ලිමේන්තු යාම සිහිනයක් පමණක් බවත් උන්වහන්සේ වදාළහ.