Tuesday, December 24, 2024

උපාධියක් නැති වුණාට මට තියෙන අත්දැකීම් බොහෝ දේශපාලකයන්ට නෑ – තෙවරප්පෙරුම

Must read

 

පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සලසන්නට වඩාත් ක්‍රියාකාරි වූ ජනතා නියෝජිතයෙකු වූයේ වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතායි.

ව්‍යසනයට පත් සහෝදර ජනතාවට සහන සලසන්නට කැපවෙමින් දැඩි අවිවේකි බවකින් කටයුතු කළ ඔහු සමග ඉඩ ලද මොහොතක සිළුමිණ කළ සංවාදයකි මේ.

* ආයුබෝවන් නියෝජ්‍ය ඇමතිතුමා

ආයුබෝවන්

* ගංවතුරට බරටම වැඩ කියලා තමයි ආරංචිය. කොහොමද වැඩ කටයුතු.

මගේ ජීවිත කාලයේ දැකපු අපේ පළාතට බලපාපු ලොකුම ව්‍යසනය තමයි මේක. පුළුවන් උපරිමයෙන් විපතට පත් වූවන්ට සහන සලසන්න කටයුතු කරනවා.

* මේක ඔබතුමාගේ අනාගත දේශපාලන ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙනවා කියලා තමයි ආරංචිය.

මම දේශපාලඥයෙක් තමයි. නමුත් දේශපාලනය මෙතනදී මට අදාළ නෑ. මම මේවා කරන්නේ ඡන්ද බලාගෙන නොවෙයි. මම මේ ගංවතුරට යටවුණු, නාය යෑමට හසුවුණු ජනතාව බේරාගන්න ගියේ කිසිම පාට පක්ෂ බේදයක් නැතිවයි. ඒ වගේම ජාති ආගම් බේදයක් නැතිවයි.
මට වියන්ගල්ල මුස්ලිම් ජනතාවත්, මාරගහදෙනිය දෙමළ ජනතාවත් , පාහියන්ගල සිංහල ජනතාවත් එකයි. අපි ඔක්කොම මනුෂ්‍යයෝ කියන එකයි මට වැදගත් වුණේ. ජනතාවගේ කඳුළ, වේදනාව තුළින් මනාප ගොඩ වැඩිකරගන්න තරම් මම බංකොලොත් දේශපාලඥයෙක් නෙවෙයි. ඒක මේ පස්දුන් රට ප්‍රධාන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා.

* මේ හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න අදාළ වගකිව යුතු ආයතන වලින් ලැබුණ සහන ගැන කිවුවොත්

අපේ රටේ ආපදා කළමනාකාරණය වෙනුවෙන් පිහිටුවලා තියෙන රාජ්‍ය ආයතනවල තත්ත්වය ගැන නම් මට කිසිම ලෙසකින් සතුටු වෙන්න බෑ. මේ අනතුර විතරක් නෙවෙයි මීට මාස එකහමාරකට පෙර මතුගම තවුන්තුඩුව ප්‍රෙද්ශයේ පාර හරහා විශාල ගසක් වැටුණු වෙලාවෙයි මම ඒක තේරුම් ගත්තේ. මාර්ගය අවහිරයි ගහක් වැටිලා කිවුවම ආපු ආපදා නිලධාරි ළඟ චේන් ෂෝ එකක් තියා කැත්තක් පිහියක් වත් තිබුණෙ නෑ එදයි මම තේරුම් ගත්තේ අපේ ආපදා කළමනාකරණය ආයතනවල තත්ත්වය.

* මෙවැනි ආපදා සිදුවෙන්න බලපාන හේතු ලෙස ඔබ හදුනා ගන්නේ මොනවාද?

අපේ රටේ නිසි ක්‍රමවේදයකට , පිළිවෙළකට ක්‍රියාත්මක වෙන ජාතික වැඩ පිළිවෙළක් නොමැති කමත් මේකට ප්‍රධානම හේතුවයි. ඒ වගේම රටේ ජනතාවගේ ආකල්පත් මේකට බලපෑමක් කරනවා. අපි දන්නවා සුනාමි ආපු වෙලාවේ මුහුදු සීමාවේ හිටපු අය ඉන් ඉවත් වුණා.දැන් ටික කාලයක් යන කොට ඒක අමතකයි. නැවත මුහුද අයිනෙත් ගෙවල් හදාගෙන ඉන්නවා සමහර අයට රජයෙන් දීපු ගේ පුතාට හරි දුවට හරි දීලා මහ ජෝඩුව ආයෙමත් අර පරණ තැනට ගිහිල්ලා. මේක තමයි ඇත්ත

* නමුත් මෙවර ආපදා තත්ත්වයට පෙර ජනතාව දැනුවත් කළා නේද?

ඔව් එහෙම දැනුවත් කරපු ප්‍රදේශ තිබුණා. ඒත් සමහර අය ඒක ගනන් ගත්තේ නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි වියන්ගල්ලේ දරුපවුලත් නාය යෑමට හසුවුණා. තාත්තා බේරුණා ඒ දරුවො දෙන්නගේ මීනි දෙක ඒ තාත්තයි මමයි අරගෙන යන කොට අපිත් එක්ක ගිය පොලිසියේ සාජන් මහත්තයා ඒ තාත්තගෙන් ඇහුවා මම ඇවිල්ලා ඊයේ ඔයාලට කියලා ගියා නේද ඔය ගෙදර ඉන්න එපා කියලා. ඒ තාත්තට උත්තර නැතිව ගියා.

* ජනතාව ගෙවල් වලින් ඉවත් වෙන්න කිවුවට කොහෙටද යන්නේ කියන එක ප්‍රශ්නයක් නේද?

ඒකත් අපේ ආපදා කළමනාකරණයේ තියෙන එක අඩුවක්. ජනතාවට අවදානම් කියලා ගෙවල් වලින් ඉවත්වෙන්න කියන කොටම කොහේද ආරක්ෂිත ස්ථාන එතනට යන්න කියන එකත් කියන්න පුළුවන් වෙන්න ඕන. ඉදිරියේදීවත් එහෙම සැලසුම් එක්ක වැඩ කරන්න වෙනවා. එහෙම වුනොත් මීට වඩා ජීවිත හානි අවම කරගන්න පුළුවන්.

* කළුතර දිස්ත්‍රික්කය ප්‍රධාන බුලත්සිංහල ආසනයේ ජනතාවගේ ජන ජීවිතය ගොඩ නැගීමේ විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවාද?

මේක කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම බුලත්සිංහල ආසනයේ සිදුවෙලා තියෙන විනාශය ඒ තරම්ම විශාලයි. ‍ෙවල්ගම ප්‍ර‍ෙද්ශ‍ෙය් මාර්ග සම්පූර්ණයෙන්ම විනාශවෙලා. ඒවා වෙනුවට විකල්ප මාර්ග ඉදිකරන්න ඕන. ජනතාවගේ විනාශ වූ දේපල තක්සේරු කරන ඕන. කඩිනමින් එහෙම තක්සේරුවකට ගිහිල්ලා ඒ ජනතාව නගා සිටුවන සුවිශේෂි වැඩපිළිවෙළකින් ඔවුන්ගේ ජීවන උපාය මාර්ග ආරම්භ කරන්න ඕන. සහනාධාර මල්ලෙන් බත් පැකට් එකෙන් ඔබ්බට ගිහිල්ලා ඔවුන් දෙපයින් නඟා සිටුවන වැඩ පිළිවෙලක් ඕන.

* මේ ආපදා තත්ත්වයේදී රාජ්‍ය නිළධාරින්ගෙන් නිසි සහයෝගය ලැබුණෙ නෑ කියන්නේ ඇත්තද?

හැම රාජ්‍ය නිලධාරියෙක්ම එහෙම කළා කියලා මම කියන්නේ නෑ. ඒත් තවම සමහර ගම් තියෙනවා ග්‍රාම සේවක රාළහාමි නොගිය ඒවා. ඇතැම් රාජ්‍ය නිළධාරින් මේ වෙලාවේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. සමහර නිලධාරින් ගම්වලට ගිහිල්ලා කියනවා මහින්ද රාජපක්ෂගේ කාලයේ මෙහෙම වුණේ නෑ කියලා. එහෙම කකුල් දෙක දෙපැත්තේ තියාගෙන වැඩ කරන නිලධාරි පිරිසකුත් ඉන්නවා. ගෝල්ෆේස් ගිය අයට විශේෂ සැලකිලි දක්වන්නට යනවා. යු.එන්. පී කාරයා යූ. එන්. පී. කාරයාට සලකන්න හදනවා. කවුරු කළත් මේවා වැරදි වැඩ.

* මේ ආපදා තත්ත්වයේදී රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ කියලා නැගෙන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

මම මුලින් කිවුවා වගේ අපේ කාලයේ අපි අත් විඳපු බිහිසුණුම අත්දැකීම මේකයි. මේකට විසඳුම් ඇලඩින්ගේ පුදුම පහනෙන් දෙනවාවගේ දෙන්න බෑ. එදා ඇතිවුණ තත්ත්වයට ඔය චෝදනා කරන බොහෝ අය මුහුණ දුන්නේ නෑ. යන්න පාරක් තොටක් නෑ. හතර පැත්තෙම මහ මුහුද වගේ. පණිවුඩයක් දෙන්න විදියක් නෑ. විදුලිය විසන්ධි වෙලා ඒ ඇතිවුණ තත්ත්වයත් එක්ක මේ තරමෙන් ගොඩ දාගත්තා හොඳටෝම ඇති. අපේ රටේ මිනිසුන්ට හැමදේම නිකන් ලැබෙනවානම් කොච්චර දුන්නත් මදි. මම මේ කියන්නේ ඇත්ත. මුලින්ම කිවුවේ අපි වහලවල් උඩ අපිව බේරගන්න කියලා. ඊළගට කිවුවේ අපට කන්නයි වතුරයි ඕන කියලා. දැන් බත් පැකට් එකෙන් එහාට ගිහිල්ලා වියළි සලාක මල්ල තමයි ඉල්ලන්නේ.ව්‍යවසනයේදී හැමෝම උදවු කළා. ඒ ඇති. අපි දැන් දෙපයින් හිටගන්න ඕන කියලා හිතන අය බොහොම අඩුයි. එහෙම සමාජයක් ගොඩ නගන්න අවශ්‍ය පරිසරය හදන එකයි රජයේ වගකීම.

* පස්දුන් රටට බලපෑ ව්‍යවසනයට ප්‍රධාන හේතුව කුකුලේ ගඟ ව්‍යාපෘතිය කියලා නඟන චෝදනාව ගැන ඔබේ අදහස කිවුවොත්

ඒක බොරුවක් නොවෙයි. ඒක තමයි මේ ව්‍යවසනයේ මූලික හේතුව. කුකුලේ ජලාශය පිරෙන කොට වැඩිවන වතුර පහලට ගෙන යන්න ක්‍රමවත් වැඩ පිළිවෙලක් හදන්න තවම බැරි වෙලා. වතුර පිරුණ ගමන් ජලාශයේ දොරටු ඇරලා කිසිදු වග විභාගයක් නැතිව කටයුතු කරලා හරියන්නෙ නෑ. 2003 දී ත් ඇතිවුණු ගංවතුර හේතුව මේ ජලාශයයි.මෙවර නාය ගිය කන්දෙ පස් ගඟට වැටිලා ගඟ අවහිර වීම නිසා වතුර ගම් බිම් යට කරගෙන පහළට ගලා යෑමෙන් අනතුරු දෙගුණ තෙගුණ වුණා. මේ වෙනකොට වෙල්ගම කන්දක නාය යෑමේ අනතුරක් තියෙනවා කියලා දැනුම් දීලා. ඒ කන්ද නාය ගියොත් වැටෙන්නේ ගඟටයි එහෙම වුණොත් වෙන්නේ ගඟ දෙගොඩතලා ගිහිල්ලා ගං බිම් යට වෙන එකයි.

* මේ නායගිය ප්‍රදේශවල නැවත ජනතාව පදිංචි කිරීම මේ ප්‍රශ්නය අනාගතයට උරුම කිරීමක් නේද?

පැහැදිලිවම මම කියනවා. මම නියෝජනය කරන බුලත්සිංහල ආසනයේ නාය ගිය තැන් ඔක්කොම හඳුනාගෙන අපි ඒවාට ඉඩම් ලබා දුන්නේ මේ ආපදාවට පෙරයි. සජිත් ප්‍රේමදාස අපේ නියෝජ්‍ය නායකතුමා‍ෙග් මැදිහත්වීඹ ලබාගෙන අපි නිවාස ව්‍යාපෘතියක් පටන් ගත්තා. එහි පළමු පියවර ගල්වතුරේ නිවාස විසිපහක් හැදුවා. එහිදි අපි රජයෙන් ලක්ෂ හතරක නිවාස ණයක් දුන්නා. විදුලිය දුන්නා ජලය දුන්නා. ඒ අනුව ඒ ඉඩම්වල තමන්ගේ හැකියාව අනුව ලක්ෂ විස්සේ විසිපහේ ගෙවල් පවා හැදුවා. ඒත් තවම ඒ නිවාසවලට ඇවිල්ලා නෑ. අර පරණ තැනම ජීවත් වෙනවා. ඉදි‍රියේදී මේ සඳහා දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන්න වේවි.

* ආපදාවට පත්වූ පසු ජනතාව සහන සලසනවාට වඩා ආපදා සිදුවීම අවම කිරීමට දේශපාලනඥයන් මැදිහත් විය යුතුයි කියලා හි‍ෙතන්නේ නැද්ද?

ඔබ කියන කාරණයත් එක්ක මම සියයට දෙසීයක් එකඟයි. මේ රටේ බහුතර දේශපාලනඥයන්ට පරිසරය ගැන කිසි හැඟීමක් නෑ. ගස්ටික කපා ගන්න, වැලිටික ගොඩ දාගන්න, ගල්ටික කඩාගන්න තමන්ගේ හිතවතුන්ට දෙනවා. ඒවාට සොබාදහමෙන් දීපු දඬුවම තමයි මේ. හැබැයි දේශපාලනඥයන්ට විතරක් ම මේ චෝදනාව දාලා අත පිහදාගන්න බෑ. මොකද මධ්‍යම පරිසර අධිකාරියට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට වගේ රාජ්‍ය ආයතනවලටත් මේවායේ විශාල වගකීමක් තියෙනවා. මුදලාලිලාගේ සන්තෝසම්වලට යටවෙලා තීන්දු තීරණ අරගෙන පරිසර විනාශ කරන්න ලබා දුන්නු බලපත්‍රවල ප්‍රතිඵල තමයි ‍මේ.

* බොහෝවිට දේශපාලනඥයෝ වැඩ කරන්නේ ලකුණු දාගන්න කියලා ජනතාව තුළ මතයක් තියෙනවා. ඔබත් ගංවතුරට බැස්සේ ලකුණු දාගන්න කියලා කවුරු කිවුවොත්?

මගේ සිතුම් පැතුම්, මගේ හිතේ හයිය, මගේ තියෙන බැඳීම, සංවේදීකම බොහෝ දෙනෙක් ළඟ නෑ, මගේ තාත්තා C.T.B එකේ හිටපු රියදුරු උපදේශ මහත්තයෙක්. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ සොල්දාදුවෙක්. අපේ තාත්තා කුඩා කාලේ ඉඳලා අපිව හැදුවේ මහපොළොවේ පය ගහලා ඉන්නයි. අපේ ගෙදර පරිසරයත් එහෙමයි. පොඩි කාලේ ඉඳලම. කුඹුරු කෙටුවා, ගස් නැග්ගා, ගල්වැටි දැම්මා, ග‍ඟේ දොලේ බැහැලා නෑවා, කොස් ගෙඩියක් තම්බලා කොස් ඇටේ තම්බලා දවාලට කන්න පුරුදු වුණා. ඒ වගේම බඩගින්නේ ඉන්නත් පුරුදු වුණා. මට උපාධි නැතිවුණාට, මගේ තාත්තා මැති ඇමැති කෙනෙක් නොවුණට මම අගනගරයේ පාසලකට නොගියට මට තියෙන අත්දැකීම් ඔය දේශපාලනය කරන බොහෝ දෙනෙකු ළඟ නෑ.
ඉතින් අපි ජනතාව අතරට ගිහිල්ලා වැඩ කරනකොට ඒක උහුලාගන්න බැරි දේශපාලඥයෝ තමයි ඔය චෝදනා කරන්නේ. ඒකත් හරියට ගාලු ගිය බල්ලගේ කතන්දරය වගෙයි. තවත් සමහර අය බලන්හිටියේ මේකෙන් ආණ්ඩුව වැටෙයි කියලා. අපි මැදිහත්වෙලා මහජන නි‍යෝජිතයෝ විදිහට යුතුකම් ඉටුකිරීම දිහා බලන් ඉන්න බැරි අය කියන කතා අපට වැඩක් නෑ,

* දේශපාලනඥයාගේ වගකීම වැස්සේ තෙමි තෙමී වැඩ කරන එක නොවෙයි. අදාළ නිලධාරීන් මෙහෙයවලා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි කියලා කවුරුහරි කිවුවොත්?

මේ සිදුවුණු ආපදාවේ තරම දන්නේ නැති කවුරු හරි එහෙම කියනවා ඇති. මම උදේ පාන්දර රජයේ ආධාර, රජයේ යන්ත්‍ර සූත්‍ර දිහා බලාගෙන නොවෙයි මේ වැඩේට බැස්සේ. බොඩි ලයින් ආයතනයේ සේවකයින් එක්දහස් ගණනකගේ උදේ ආහාරය තමයි අසරණ වුණු ජනතාවගේ කුසගින්න නිව්වේ. පිඹුර රෝහට විදුලිය නැතිව ගියා. රෝහලට ලැබුණ අලුත්ම අලුත් ජෙනරේටර් දෙක මාස ගණනක් ගියත් භාවිතයට අරගෙන නෑ. ක්‍රියාත්මක කරන්න දන්න කෙනෙක් නෑ.
පසුව බොඩිලයින් ආයතනයේ කාර්මිකයෝ ගෙනැල්ලා නීතිය පැත්තකින් තියලා මම මැදිහත්වෙලා තමයි ඒ ජෙනරේටර් පණ ගන්වලා රෝහලට විදුලිය දුන්නේ. බේරුවල මරදාන ධීවරයන්ගේ බෝට්ටු අරගෙන අපි මේ වැඩේට බැස්සේ. මම බෙදන්නේ රජයේ ආධාර නොවෙයි. මගේ හිතවතුන්ගෙන් ලබාගත් ආධාරයි. මම සීතල කාමරයකට වෙලා බලධාරින් මෙහෙයවලා විතරක් මේ ටික කරන්න පුළුවන්ද?

සංවාදය පුබුදු සපුතන්ත්‍රි
www.lankadaily.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article