නිසි බලපත්‍රයක් නොමැතිව ඇඹිලිපිටියේ සිට යාපනය බලා ලොරියකින් ගෙනයමින් තිබූ ඉරණ ලද තේක්ක සහ කොහොඹ දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද(11) දහවල් කුරුවිටදී අත්අඩංගුවට ගැනීමට රත්නපුර අඩවිවන නිලධාරී කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ.කිසිදු ආවරණයක් ද නොමැතිව සැක නොසිතන ආකාරයට මෙම දැව තොගය ගෙන ගොස් තිබුණි.ඇඹිලිපිටිය අනූනවය ප්‍රදේශයෙන් මෙම දැව තොගය ලොරියට පටවා තිබුණි. රත්නපුර අඩවිවන නිලධාරී එස්.ඩී. නිමල් මහතාට ලැබුණ තොරතුරකට අනුව කුරුවිට පොලීසියේ නිලධාරින්ගේ සහාය ද ඇතිව ප්‍රධාන පාරේ ගමන්ගත් දැව පැටවූ ලොරිය නවත්වාගෙන තිබුණි.ලොරියේ සිටි පුද්ගලයෙක් බලපත්‍රයක් ඉදිරිපත් කළ ද එකී බලපත්‍රයේ සඳහන් ලී වලට වෙනස් ආකාරයේ ලී එහි තිබී ඇත. පසුව දැව පැටවු ලොරිය රත්නපුර අඩවිවන කාර්යාලයට ගෙනවිත් එහිවූ ලී බිමට බෑමේදී උඩින් ඉරන ලද බුරුත දැව ද ඊට යටින් කොහොඹ දැවද තිබූ බව වන නිලධාරීහූ පැවසූහ.මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වනු ඇතැයිද වන නිලධාරීහූ කීහ. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය සහ පල්ලෙබැද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එක් සැකකරුවෙක් ලොරියේ රියදුරු වන අතර ඔහු ලොරියේ අයිතිකරුද වන බව වනනිලධාරීහූ පැවසූහ. ඔහුට බලපත්‍රයක් ඇතිබව  පෙන්වා මෙම ල තොගය නීත්‍යානුකූල ලෙස යාපනයට ගෙන යන බව දන්වා ඇතිබව විමර්ශන අනාවරණය විය.  අනෙක් සැකකරු වරින්වර මේ ආකාරයට දැව ප්‍රවාහනය කර ඇති බවත් මෙවර අටවෙනි වතාවට ගෙන යද්දී අසුවූ බවද පවසා තිබුණි.

රත්නපුර දිසාවන නිලධාරී රසාල් වීරසිංහ මහතාගේ උපදෙස් මත රත්නපුර අඩවිවන නිලධාරි එස්.ඩී.නිමල්, බිබීට්ටුවන නිලධාරීන් ව රොෂාන් පෙරේරා, සේනක හේමන්ත සහ සුදත් යන නිලධාරීන් මෙම ලී තොගය අත්අඩංගුවට ගනු ලැබීය.
lankadeepa.lk