ජූනි 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුවක් රැස්වෙන්න නොහැකි නම් නීතිමය  තත්ත්වය වන්නේ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද නියෝගය අවලංගු වන බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.
ඊට  හේතු ඔහු මෙසේ දක්වයි.
” ව්‍යවස්ථාවේ 70 යටතේ ජනාධිපතිතුමා එහෙම නියෝගයක් කරන කොට, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කාලයට කලින් මාස 6ක් ගතවීමට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින කොට ඒක කරන්න එතුමාට බලය දෙන්නේ කොන්දේසි කීපයක් මතයි. ඒ කොන්දේසි වන්නේ, එම නියෝගය දීම පාර්ලිමේන්තු මැතිවරණ දිනයක් නිකුත් කරන්න ඕනේ.
 අනෙක නව පාර්ලිමේන්තුව රැස්වන දිනයකුත් ඒකේ සඳහන් කරන්න ඕනේ. ඒ දෙකෙන් එකක් සඳහන් නොකරලා ඒ නියෝගය කළේ නම් ඒක මුලින්ම අවලංගු වෙනවා. ඒක බල ශූන්‍යයි. ඒ වගේම පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙන අවස්ථාවක වෙනස් කරන්න පුළුවන් කියලා 70 (5) (ඇ) යටතේ තියෙනවා එතැනත් තියෙන්නේ තවත් කොන්දේසියක්. ඒක වෙනස් කළහොත් නව දිනයක් මාස තුනකට කලින් තියෙන්න ඕනේ කියලා.
ඒ නිසා ඒක දැඩි කොන්දේසියක්. රටේ පාර්ලිමේන්තුවක් මාස තුනකට වැඩි කාලයක් නැතිව රට පවත්වන්න බැහැ කියන මූලික අරමුණින් තමයි මේ බලය දීලා තියෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් උඩ මේක කරන්න බැරි වුණොත් ඒ අවලංගු කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ඒ ක්‍රියාවලිය අවලංගු වෙනවා.”
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මේ අදහස් දක්වා ඇත්තේ රාවය පුවතට
ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී ය.
එය පහත දැක්වෙයි .
ජනාධිපතිතුමා විසින් මාර්තු දෙවැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ජූනි දෙවැනි දිනට පෙර පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. එසේ රැස් නොවන්නේ නම් ව්‍යවස්ථා අර්බුදයක් හටගන්නා බවට ඇතැම් නීති විශාරදයන් පෙන්වාදී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ජූනි 2 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුවක් රැස්වෙන්න බැරි නම්, නීතිමය තත්ත්වය වන්නේ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද නියෝගය අවලංගු වෙනවා. ඊට හේතුව ව්‍යවස්ථාවේ 70 යටතේ ජනාධිපතිතුමා එහෙම නියෝගයක් කරන කොට, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කාලයට කලින් මාස 6ක් ගතවීමට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින කොට ඒක කරන්න එතුමාට බලය දෙන්නේ කොන්දේසි කීපයක් මතයි. ඒ කොන්දේසි වන්නේ, එම නියෝගය දීම පාර්ලිමේන්තු මැතිවරණ දිනයක් නිකුත් කරන්න ඕනේ. අනෙක නව පාර්ලිමේන්තුව රැස්වන දිනයකුත් ඒකේ සඳහන් කරන්න ඕනේ. ඒ දෙකෙන් එකක් සඳහන් නොකරලා ඒ නියෝගය කළේ නම් ඒක මුලින්ම අවලංගු වෙනවා. ඒක බල ශූන්‍යයි. ඒ වගේම පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙන අවස්ථාවක වෙනස් කරන්න පුළුවන් කියලා 70 (5) (ඇ) යටතේ තියෙනවා එතැනත් තියෙන්නේ තවත් කොන්දේසියක්. ඒක වෙනස් කළහොත් නව දිනයක් මාස තුනකට කලින් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒක දැඩි කොන්දේසියක්. රටේ පාර්ලිමේන්තුවක් මාස තුනකට වැඩි කාලයක් නැතිව රට පවත්වන්න බැහැ කියන මූලික අරමුණින් තමයි මේ බලය දීලා තියෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් උඩ මේක කරන්න බැරි වුණොත් ඒ අවලංගු කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ඒ ක්‍රියාවලිය අවලංගු වෙනවා.

දැන් තත්ත්වය අනුව ජූනි 2 වැනි දිනට පාර්ලිමේන්තුව රැස් කරන්න බැහැ. ඒ නිසා දැන්මම ජනාධිපතිතුමාගේ මාර්තු දෙවැනිදා නියෝගය අවලංගු වෙලා.

ඔබ කියන විදියට එම ගැසට් නිවේදනය අවලංගු වෙලා නම් ජූනි දෙවැනි දිනට පාර්ලිමේන්තුව රැස්වීමේ අවකාශයක් තිබෙනවාද?

ඒක අවලංගු වුණා නම් පාර්ලිමේන්තුව විසුරුවලා නැහැ හැටියට සැලකෙනවා. ඒක තමයි එහි ප්‍රතිඵලය. මේක 2018 නොවැම්බර් මාසයේ 9 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගයක් කරන කොට එතැනත් කොන්දේසියක් තිබුණා. අවුරුදු 4ක් සහ මාස හයකට පසුව තමයි කරන්න පුළුවන් කියලා. ඒ කොන්දේසිවලට පටහැනිව ඒ නියෝගය කළ නිසා තමයි ඒ නියෝගය අවලංගුයි කියලා ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ගත්තේ. ඒ දුන්නාම තිබුණු පාර්ලිමේන්තුව නැවත රැස්වන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි දැන් මේක අවලංගුයි. අවලංගුයි කියපුවාම මාර්තු මස දෙවැනි දා අවලංගු කරන ලද පැවති පාර්ලිමේන්තුව දැන් ක්‍රියාත්මකවීමට පුළුවන්.

ඔබගේ තර්කය අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම්, කතානායකතුමාට පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාව තිබෙනවා. කතානායකතුමා එවැනි තීරණයක් නොගත්තේ ඇයි?

එම ප්‍රශ්නය කතානායකතුමාගෙන් ඇසිය යුතු වෙනවා. කතානායකතුමාට දැන් බලය තිබෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න. එනමුත් එතුමා කියලා තියෙනවා. මම දැක්කා මම එය කරන්නේ නැහැ. ව්‍යවස්ථා අර්බුදයකට නැවත යන්න මම සූදානම් නැහැ කියලා. අධිකරණයක් නියම කළහොත් මම ඒකට අනුකූලව ක්‍රියා කරනවා කියලා එතුමා කිව්වා. මේ තමයි එතුමා 2018දිත් කිව්වේ. 2018දීත් අපි එතුමාට කිව්වේ මේක බල ශූන්‍යයයි, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නියෝගයක් පමණක් නොවේ, ඉස්සෙල්ලා වාර අවසන් කරලා නියෝගයක් දුන්නා. ඒ නියෝගයන් අවලංගුයි. ඒක බලශූන්‍ය්‍යයි.

පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා කිව්වාම කතානායකතුමා කිව්වා මට එහෙම කරන්න බැහැ, උසාවි නියෝගයක් තිබුණොත් පමණයි මට කරන්න පුළුවන් කියලා. ඉන්පසුව විසුරුවා හැරියා. විසුරුවා හැරියාම අපිට කිව්වා බලශූන්‍යයයි කියලා. ව්‍යවස්ථාව දිහා බැලුවාම ඒ වගන්තියේම ඒ කියන්නේ 70 වගන්තියේම තියෙනවා, අවුරුදු 4යි මාස 6ක් ඉක්මවා ගියාට පසුව තමයි ඒ බලය තියෙන්නේ. රැස් කරන්න කියලා කිව්වාම එතුමා කිව්වා, නැහැ අධිකරණ නියෝගයක් තිබුණොත් පමණයි මම කරන්නේ කියලා. ඒ නිසා තමයි අපි 9 වැනිදා ඒ නියෝගය කළේ. අපි 12 වැනිදා නඩුවක් දාලා 13 අපි නියෝගයක් ගත්තා. දැන් තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්ත්වය ඒකමයි. අධිකරණය විසින් ප්‍රකාශ කළත් නොකළත් ඒක තමයි නීතිමය තත්ත්වය. හැබැයි අධිකරණයත් එහෙමයි කියලා පැහැදිලි කළහොත් කතානායකවරයාට ඒක පහසුයි. එවිට ඔහුට කියන්න පුළුවන් දැන් අධිකරණය කිව්වනේ කියලා.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) යටතේ තිබෙන විධිවිධාන සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිෂන් සභාව විසින් ජූනි මස 2 වැනි දිනට මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම තීරණයේ නෛතික වලංගුභාවය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ඒ වගේම හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ලට ගෙන මැතිවරණ කල් දැමීම ජනාධිපතිවරයා විසින් ගත යුතු තීරණය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරීම ගැන ඔබේ අදහස කුමක්ද?

මැතිවරණ කොමිසම එසේ කරන ලද නියෝගයේ පැති දෙකක් තිබෙනවා. එකක් තමයි, ඒක නීතිය යටතේ ඒක වලංගු නැහැ. මොකක්ද, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ එම බලය තිබුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඒ බලය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා පස්සේ පාර්ලිමේන්තුව රැස්වන්න පුළුවන් විදියට කල් දාන්න බැහැ. නමුත් අනෙක් පැත්තෙන් බැලුවහොත් අපි කවුරුත් දන්නවා, මේ මොහොතේ විතරක් නොවෙයි, තව මාස තුනක් හෝ හතරක කාලයකට මැතිවරණයක් තියන්නට බැහැ. ආණ්ඩුවට තිබෙන වගකීම නම් සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමයි. මේ වාතාවරණය තුළ එහෙම එකක් කරන්න බැහැ. ඒ නිසා වෙන්න ඇති කල් දමමින් යන්නේ. ජූනි 20 වැනිදාට මැතිවරණය තියන්න බැහැ. ඒ අනුව මැතිවරණ කොමිසම රැස්වන වේලාවක නැවත කල් දමාවි. නිතරම කල් දමන එක තමයි ඒ අයටත් කරන්න පුළුවන්. හැබැයි මේක නිරාකරණය කරන්නට තිබෙන එකම සුදුසු ක්‍රියාමාර්ගය තමයි, ජනාධිපතිතුමා දැන් තිබෙන නීතිය තත්ත්වය පැහැදිලි කළ යුතුයි, එතුමාට මාර්තු 2 වැනිදා කළ නියෝගය අවලංගු කළා නම් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න පුළුවන්.

ජනාධිපතිතුමා මාර්තු 2 වැනි දින නියෝගය කරන වෙලාවේදීත් එතුමා දන්නවා මාස තුනක් ඇතුළත මැතිවරණය තියන් බැරි වාතාවරණයක් ඇතිවෙනවා කියලා. එම නිසා එතුමා ඒ කරපු එක වැරදියි. දැන් කාටත් කියන්න පුළුවන් මේ මාස තුන ඇතුළත මැතිවරණය තියන්න බැහැ කියලා. ඒ නිසා ඒ ජනාධිපතිතුමාගේ නියෝගය අවලංගු කරන්න ඕනේ.

රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජූනි මස 20 වැනි දිනට දින නියම කර තිබෙන මහ මැතිවරණය නැවත වතාවක් කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාවට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ බලයක් තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පාර්ලිමේන්තු මැතිවරණ පනත අතර පරස්පරතාවක් තිබෙන බව පෙන්නුම් කරනවා නේද? හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය කී වරක් කල් දැමීමේ හැකියාවක් තිබෙනවද?

පරස්පරතාවක් නැහැ. මේ වගේ වාතාවරණයක් උදාවෙනවා කියලා නීති සකස් කරන විට හිතන්න බැහැ. නමුත් අපි ළඟ තිබෙන සියලුම නීති මේ වගේ වාතාවරණයක් එයි කියලා හදපු නීති නොවෙයි. ඒක නිසා තමයි අපි කියන්නේ, පාර්ලිමේන්තුව රැස්වුණාම තමයි මේ වගේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් නීති ඉක්මනට හදන්න ඕනේ. තියෙන නීති සංශෝධනය කරන්න ඕනේ. ඒවා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි. ඒවා වෙන කාටවත් කරන්න බැහැ. ඒකත් තව හේතුවක් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ කියන කාරණාවට.

මැතිවරණය කොමිෂන් සභාවට කී වතාවක් ඡන්දය කල් දැමිය හැකිද යන කාරණාවට සීමාවක් නැහැ.

මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් මැතිවරණය කොටස් වශයෙන් හෝ කඩිනමින් පැවැත්විය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. මැතිවරණය කොටස් වශයෙන් පැවැත්වීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලසා තිබෙනවාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙන්නේ මැතිවරණය පැවැත්විය යුත්තේ එක් දවසකින් කියලයි. වෙන මාර්ගයක් දීලා නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි සාමාන්‍ය නීතියට වඩා අනුගමනය කරන්න ඕනේ. ගංවතුර වැනි දේවල් එක් දිස්ත්‍රික්කයකට හෝ වෙන් වෙන් දිස්ත්‍රික්කවලට මොනවා හෝ ප්‍රශ්න තිබුණහොත් ඒකේ මැතිවරණය කල් දමන්න කියලා දීලා තියෙනවා. නමුත් මහ මැතිවරණය එක දවසකින් පවත්වන්න කියලා කියලා තමයි දැනට පවතින නීතිය මගින් කියලා තියෙන්නේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන ආර්ථික අපහසුතා විඳින සමෘද්ධිලාභීන් නොවන රාජ්‍ය සේවකයන් නොවන පුද්ගලයන්ටත් රුපියල් පන්දහසක ආධාරයක් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු අවසරයකින් තොරව මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවට නෛතික පසුබිමක් තිබියදී වත්මන් ආණ්ඩුව විසින් එලෙස මුදල් ආධාර ලබාදීමට කටයුතු කිරීමේ නෛතික වලංගුභාවය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඒක මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක්. අප්‍රේල් 30 වනතුරු අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබෙනවා. ඒක පමණක් භාවිත කරන්න පුළුවන්. ඉන්පසුව හදිසි අවස්ථාවකට ජනාධිපතිතුමාට මුදල් ගන්න පුළුවන්කම තියෙන්නෙත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් වැනි සාමාන්‍ය කටයුතුවලට පමණයි මුදල් ලබාගැනීම කළ හැක්කේ. අපි කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. එවිට එවැනි වියදම් සඳහා අනුමත ලබාදීමට අපට පුළුවන්. අපි අනුමැතිය ලබාදීමට ලෑස්තියි. හැබැයි පොදු මූල්‍ය බලය පිළිබඳව මුළුමනින්ම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒක වෙන කාටවත් දීලා නැහැ. ඒක නීත්‍යනුකූලව කරන්න ඕනේ. දැන් කරන දේවල් මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවලි.

ජූනි 2 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු නොකොට ජූනි 20 වැනි දින මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ කටයුතු කරන බවට චෝදනා නැගෙනවා. එහි සත්‍ය – අසත්‍යතාව කුමක්ද? එවැනි නඩු කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා කටයුතු ff දෙමළ ජාතික සන්ධානය පමණක්ද?

ජූනි 2 වැනි දිනට මැතිවරණයක් තියන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ. කවුරුවත් එහෙම කියන්නෙත් නැහැ. මැතිවරණයක් තියන්න බැහැ කියන එක තමයි අපේ ස්ථාවරය. ජූනි 20ට පමණක් නොවෙයි අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී හෝ මැතිවරණයක් තියන්න බැරි වේවි. ඒ නිසා ඒකට එරෙහිව කවුරුත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ. එනමුත් දැන් තියෙන තත්ත්වය යටතේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අවලංගුයි කියන නීතිමය තත්ත්වය යටතේ ඒක ක්‍රියාත්මක කරන්නට, ඊට ප්‍රකාශනයක් ගන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් ඒ නඩුව ගන්න පුළුවන්. දෙමළ ජාතික සන්ධානය විසින් එවැනි තීරණයක් තවම අරගෙන නැහැ.

(newstube)